Aruni Kalupahana's Blog, page 8

May 23, 2015

සේනි


ඔබ ඈත සද වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලග ඉන්නා

බණ්ඩාර අතාවුදයන්ගේ ගැඹුරු හඩින් ගැයෙනා ගී පද දෙසට මාධව මොහොතකට සවන් යොමු කළා.. ගෙවෙන්නා වූ පාලු රාත්‍රියට ගැලපෙන අපුරු ගීතයක්.. මාධව ගීතයට රැදී අවධානය අතරින් ම ආලින්දය වසා ගන්න රූස්ස ගස් පෙළ අතරින් අහස දිහා බැලුවා.. පහළොස්වක සද අහසේ දිලිහි දිලිහි උන්නේ පරිසරය පුරාවටම කහ පැහැති ආලෝක දහරා විහිදුවමින්..

පහළොස්වක සද ගාවින් හැමදාම වගේ තනියට උන්නේ පහන් තරුව.. ඉස්සරම දවසක සේනි එක්ක නුවර වැව රවුමට වෙලා අහසේ තරු ගැනපු මාධවට මතක් උනා.. සේනි මුළු අහසින්ම වැඩියෙන් ම ආස කලේ පහන් තරුවට.. මාධව පෙම් බැන්දේ සදට.

නුවර වැව් ජලය මතට පතිත වෙන පුර හදේ සේයාව දිහාවේ බලාගෙන සේනි පුංචි ගල් කැට වලින් වැව් ජලය මතට විසි කරේ සදේ ජායාව වැව් දිය මතින් මකා දමන්න උත්සාහ කරමින්..

" සේනි.. "


මාධව ඒ දිහාවේ බලාගෙන හඩ අවදි කළා..


" කියන්න.. "


"  සේනි, කැමති නැද්ද සදක් වෙන්න.. "


" නැහැ.. "


" ඒ ඇයි ?? "


" මං කැමති පුංචි තරුවක් වෙලා, මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.. "


" පුංචි තරුවක් වෙන්නේ මොකට ද ?? එහෙනම් සදට තනි රකින පහන් තරුව වෙන්න..  "


" අපෝ බැහැ.. එතකොට සදාකාලිකවම සදට තනි රකින්න වෙනවා.. "


" ඉතින් හොදයිනේ සේනි..  මම සදක් වෙන්නම්.. ඔයා පහන් තරුව වෙන්න.. "


" අනේ බැහැ .. ඔයා සද වෙනවා නම් මම ඒ අහසකවත් ඉන්න තරුවක් වෙන්න කැමති නැහැ.. හැබැයි ඒත් ඉතින් ඔයාත් දන්නවා ඇතිනේ සදයි පහන් තරුවයි අතර වුනත් හැමදාම ලං වෙන්නේ නැති පරතරයක් තියෙනවා කියලා.. "


" පරතරයක්, හාහ් හඃ  හඃ.. ඉතින් සේනිත් දන්නවා ඇති නේ සද නැතිනම් අහසේ කොයින් ද තරු ?? "


තමන් කියුව නොඇසුනාක් මෙන් එදා ඇය එතනින් ගියයුරු මාධවට තවමත් මතකයි..


කලකට පසු වුව ද තමන්ගේ අහසේ පහන් තරුව තියා අහලකවත් පායන පුංචි තරුවක සෙවනැල්ලක් වන්නටත් කැමැත්තක් නොතිබුණු සේනිව බලෙන් රදවා ගත් හැටි, ඒ නිසාම ජීවිතය කෙතරම් වෙනස් වුණා ද උනා ද යන්න පිළිබද ව මාධව රාත්‍රී අහස දිහාවේ බලාගෙන කල්පනා කරපු වාර අනන්තයි..


සේනිව තමන්ට මුණ ගැහෙන කොටත් සේනි යන්තම් හිරිමල් වියේ පසු වූ පාසල් සිසුවියක්.. එවකට පටන් තමන් ඇයට කාලයක් යනතුරුම පෙම් බැන්දමුත් ඇය කෙදිනකවත් මාධවට කැමැත්තක් දැක්වුයේ නැහැ.. ඇය එයට සෘජු පිළිතුරක් නොදුන්නත් වැටහුන පරිදි ඇය ජායාරූප ශිල්පියෙකු වූ තමන්ගේ ප්‍රතිරූපයට කැමැත්තක් දැක්වුයේ නැහැ..  අනෙක තාරුණ්‍ය පසු කර යමින් හුන් තමන්ට එවකට තිබු ප්‍රේම සම්බන්ධතා කිහිපයක තතු ඇය දැන සිටීමත් නිසාවෙන් ඇයට තමන් පිළිබද විශ්වාසයක් නොමැති වූ බවත් මාධව දැන හුන්නා..

 ඒ නිසාම තමන්ගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට සේනිට හැකි වුයේ එකවරමයි..


" සේනි.. "

තමන් හා ඇය රැගෙන දෙමසක් ගෙවෙන්නට ලං වුවත් ඇය තවමත් හා වචනයකුදු දොඩන්නට අකමැති සේ තමන්ගේම කල්පනා ලොවක තනිවය.

ඒ දෙමසටම ඇය වැඩිම වුවහොත් තමන්ට අතෙහි ඇගිලි ගණනටත් වඩා අඩු වාර ගණනක් ආමන්ත්‍රණය කරන්නට ඇත.

ඝන සිංහරාජ වන රොද අභ්‍යන්තරයේහි හුදකලා පරිසරයක වූ තමන්ගේ සංචාරක නවාතැනේ දැව මේසය අසලින් හිද ඇය සිදු කල එකම දෙය වුයේ දින සති ගෙවෙනා තෙක් අකුරු කිරීම පමණකි.


අලුයම දෙකට ආසන්න වුවත් ඇය තවමත් අවදියෙනි. මේසයේ කොනක වූ ඉටි පන්දම් දැල්ල නම් නිවී යන්නටත් ආසන්නය.. මාධව අසල වූ මොහොතකට කලින් හිස් කල කෝපි බදුනද රැගෙන නැගී සිටියේය.


" සේනි.. මොකද මේ එකම සින්දුව රිපීට් දාගෙන අහන්නේ.. "


ලියමින් සිටිය නවතා මොහොතකට දෑස දැව මේසය දෙසටම යොමු කරගෙන උන්නා මිසක ඇයට කියන්නට කිසිවක්ම තිබුනේ නැත.  මොහොතක් ඇය දෙස බලා හුන් ඔහු ඉවතට යන්නට සැරසුනේය.


" මාධව අයියේ.. "

ඒ සේනි ය.. සැබවින්ම ඇය ය.. ගෙවුණු සතියටම ඇය වචනයක් දොඩන්නේ දැන් ය.


" නංගි.. ?? "


" ඒ සින්දුව.. ඒ සින්දුවට මං ආසයි ගොඩාක්.. ඒක හරියටම මටම ලිව්වා වගෙයි.. ඔයාට ඒ සින්දුව හිරිහැරයක් ද ?? "


" නැහැ දරුවෝ.. ඇත්තටම නැහැ.. ඒත්  ඇයි ඔයා ඔය හැටි ඔය සින්දුවට ආස... ඔයා ගැන කියනවා කියන්නේ ඇයි ?? "

කිසිවක් නොකියූ ඇය පියගැටපෙළ තරණය කර ඉහල මාලයට ගියාය. මේසය මත වූ කඩදාහි මත ඇය ගීතයේ පදවැල් එකින් එක සටහන් කරය. මාධව ඒ දෙස මොහොතක් බලා හුන්නාය..

" ඔබ ඈත සද වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ මා ලග ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවුයේ
ඒ ඈත් බවිනි හද අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුණේ

මධුසද තරුව ද හමු විලා
සිටියද ඔබ මා ලං විලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොදුරු සෙනේ ගඟ සිදිලා "


ඇය හැමදාමත් නින්දට යන්නේ තමන්ට  සිතන්නට දහසක් දෑ ඉතුරු කරය

ඇය මෙසේ හැසිරීමට තමන් වරදකරුබව සැබෑය. නමුත් දෙමසකුත් ගෙවෙනා තැන් හි වුව ඇය තමන්ගේ වරදට සමාවක් දෙන්නට සුදානමක් නැති වා ද ?? මෙතරම් කාලයක් ඇය තමන් සමගින් කලකිරීමෙන් ද ??

මාධවට පුර්ණා සිහි විය..

" කොච්චර මොනා කිව්වත් ගෑනු දරුවෙක් බලෙන් කැන්දන් ගිහින් කසාද බැද ගන්න ඒක මහා වීර කමක් නෙවේ මාධව.. තමන් ගැන හිතලා ඔයා එයාව උස්සන් ගියා ට ඔයා පොඩ්ඩක්වත් හිතුව ද සේනිගේ හිත ගැන ?? "


" එත් සේනිගේ හිත කාලයක් මට ආදරය කරා කියලා අපි දෙන්නම දන්නවනේ පුර්ණා.. ඒක පාරමයි එයා වෙනස් වුනේ.. ඒත් එයා වෙනස් වන සැරයක් ගානේ මට වෙනස් වෙන්න පුළුවන් ද ?? මම උනත් එයාට කොච්චර ආදරේ කරා ද ?? "


" ප්‍රශ්නේ තියෙන්නේ ආදරේ ගැන නෙවේ මාධව.. සේනිව පැහැරගෙන ගිහින් කසාද බැදගත්තු එක ගැන.. ඔව් ඒක පැහැර ගැනීමක්.. ඒකට හරියන වචනේ ඒක.. අනික ඔයා ආදරේ ගැන කිව්වනේ.. සේනි ඔයාට ආදරේ කරා.. හැබැයි ඒ ආදරේ රැකෙන විදියට වැඩ නොකරේ ඔයයි.. ඔයාගේ පරණ පලහිලව් කාලෙන් කාලෙට එලියට එද්දී ඔයා හිතනවා ද මාධව ඒ ළමයාට ඒවා බල බලා ඔයාට ආදරෙන් ඉන්න පුළුවන් කියලා... සේනිගේ ආදරේ දිනා ගත්තා නම් ඒ ආදරේ රැක ගැනීමත් ඔයාගේ වැඩක් මාධව.. වීදුරුවක් වුනත් බිදිලා ගියාම කෑලි අහුලලා අලවනවාට වැඩිය ලග තියෙද්දී පරිස්සම් කරන්නයි දැන ගන්න ඕනි.. "


මාධවත් සේනිත් ලගින්ම දැන හුන් පුර්ණා කි සියල්ල ඇත හැර දමන්නට මාධවට නොහැකිය. ඇය පසුගිය කාලය තුල සිදු වූ බොහෝ දෑ දැන හුන්නාය.


පුර්ණාට ඇමතුමක් ගන්නට සිතු මාධව ක්‍රියාවිරහිත කර තිබු දුරකථනය ක්‍රියාත්මක කළේය.


පරිසරයේ වූ නිහඩ බව බිදගෙන දුරකථනයට පැමිණෙමින් තිබු කෙටි පණිවිඩ එකින් ඒක මාධව විවර කරන්නට විය.

" මල්ලි හිරේ විලංගුවේ වැටෙන වැඩ කරන්නේ නැතිව සේනිව එක්කන් දැන්වත් ගෙදර එනවා..සේනිව අරන් ගිය හැටි රටම දන්න එකේ තවත් ඉදිමේ තේරුම මොකක් ද ?? පුළුවන් වෙලාවක අම්මට කෝල් එකක් දෙනවා.. අම්මයි තාත්තයි බලන් ඉන්නවා.. "

ඒ අයියා යි.. දෙතුන් දිනකට පෙර කෙටි පණිවිඩය ඒවා ඇත. අයියා සේම බොහෝ හිත මිතුරන් ආපසු පැමිණෙන ලෙස කියා පණිවිඩ ඒවා තිබුණ ද සේනිගේ මිතුරන් නම් දීර්ඝ ලෙස තමන්ට චෝදනා කර බැන වැදී පණිවිඩ ඒවා තිබිණි.

සමහර කෙටි පණිවිඩ දුටු මාධවගේ මුවග ඇදුනේ සිනාවකි. ඔවුන් සේනිගේ සමවයස් මිතුරියන් නිසාවදෝ තවමත් සිතන්නේ පුංචි දැරියන් ලෙසිනි.


මාධව ඒ මදහසින් යුතුවම පුර්ණාට ඇමතුමක් ගත්තා..

 •  0 comments  •  flag
Share on Twitter
Published on May 23, 2015 13:09

April 19, 2015

ඇහි පිල්ලක් යටින් ජීවිතය ඇහිදිමි


මේ ජිවිතේට දැන් හරි වෙහෙසයි !!

තව කොච්චර දුර යන්න තියෙනවද මන්දා

තව හිතන්නවත් බැරි දුර

කප්පරක් පාලුවෙන්

කොහොම යන්න ද?? 


තනිකම වේදනාව සාංකාව 

හිත යට ගුලි ගැහිලා වේදනා දෙනකොට 

කදුළු බින්දු බින්දු 

හෙමි හෙමින් ඇස් අගින් මතු වෙනකොට 

මේ ජිවිතේට අවසානය ලං වුනා නම් 

කොච්චර හොදද කියලා 

නොහිතෙනවා නෙවේ 


ඒත් මේ ජිවිතේ අතහරින්න තරම් 

හයියක් තවම නැහැ හිතට

හැබැයි යන්න පුළුවන් වුණ 

මොහොතේම මම යනවා

හැබැයි ඒ දවස වෙනතුරුත් 

කිසි කෙනෙක් දැන නොගනී 


මේ සිත නුඹ වෙනුවෙන් 

කෙතරම් කල් මග බලා උන්නා ද 

ඒ නිසා ජීවිතය කෙතරම් 

වැරදුනා ද කියලවත් !!!!


1 like ·   •  0 comments  •  flag
Share on Twitter
Published on April 19, 2015 02:54

April 15, 2015

...

සදට යන්න ඕනේමයි කියලා
තනිකම විතරක් හිත යට
සගයෙක් කරලා
සද යන්න ගියා
ජීවිතේම දුක් සයුරක් කරලා

මහා මේරුවටත් එහායින්
හිත පුරා මව් සෙනෙහෙ
මහා ගොඩක් දීලා
දන්නවා ද ඔබ
යන්න ගිය හැටි
හරිම නපුරයි කියා

දරන්නට නොහැකි තරම්
දුක් ගොඩක් හිත යට
තාමත් හිත රිද්දනවා
මහා බරැති කදුලක්
හිමිහිට ඇසක් ලග
තනියට එහා මෙහා ඇදෙනවා

මහා ගොඩක් වගකීම් දරා
ඒ ගමන් මා රැක බලා
ඔහේ රස්තියාදුවේ ගිය
සිතුවිලි වලට එක හීනයක්
ගෙනවිත් දුන්නා

හීන හැබෑ කරන්
මම කිරුළු පළදින කොට
නුඹ නැහැ අද
මගේ සතුට බෙදා ගන්නට
නුඹ යන්න ගිහින් හිමිහිට
මතකය විතරක් මට දීලා

එකම එක පාරක් හරි
එනවා නම් ආයෙම නුඹ
සත්තයි මම යන්න
නොදීම තියා ගන්නවා
මුළු ලොවම හරි නුඹ
වෙනුවට දීලා

සද නැතිව තරු පොකුරු
මහා හයියෙන් ඉකි ගහනවා
නුඹ ආ ගිය තැන්
දකින මොහොතක් ගානේ
තාමත් තදින් හිත රිදෙනවා
ඒ තැන් ඇස නොගැටි
පිට පාරෙන් මම තාමත් යනවා

නුඹ වෙනුවෙන්
කවි අකුරක් නොලියමි
නුඹ ගිය දා මම හිතුවා
අද නුඹ වෙනුවෙන්
එකම එක කවි පෙළක්
මම මෙලෙස ලියමි

දුක මකාලන්නට නොව
අද ඔබ වෙනුවෙන්
එක අකුරක් ලියන්නට
බැරි වුනොතින්
මගේ කවි කමින්
පලක් නැති නිසාවට

ආදරෙයි හැමදාමත්
ඔබේ සෙනෙහට තාමත්
දෙවෙනි මවයි ඔබ හැමදාම
තුන් ලෝකෙදීම මේ මට

එළඹෙන හැම මතු භවයකම
මා ලගින්ම රැදෙන්න
හැකිනම් එක මොහොතකට
නුඹ විත් මේ භවයේදී
මා අසලින් ඇවිද යන්න එනවා ද

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 15, 2015 10:38

April 13, 2015

අමුතු කවියක් !!!!


හිත හරියට දුර යනවා 
ලගින් තියා ගන්න බැහැමයි හිතෙනවා 
නාදුනන හිතක් එක්ක ගනුදෙනුවට 
හරි හරියට මට වද දෙනවා 

ඔහුත් නොදන්නා කතාවක 
ඔහු කොටසක් වෙලා තියෙනවා 
හැම අකුරකම තේරුම් හොයන්නත් 
හරි හරියට වෙහෙස වෙනවා

දුක හිතුනාම අපි තරහත් වෙනවා 
ආයෙත් ඉක්මනට අමතක කරනවා 
විහිළු කතාවක් කියලා 
අපි ආයෙම විකාරත් කියෝනවා 

කතා නොකර ඉන්න බැරිවාට 
මොන මොනවා ගැන හරි 
හැමතිස්සෙම  දොඩමලු වෙනවා 
පාලු කපන්නත් ඔහු හොද හැටි දන්නවා  

නපුරු කතා කියවා කියවා 
හිටපු ගමන් මම කෑ ගහනවා 
කියන ඒවාට මොකුත්ම නොකියා  
ඔහුත් ඉතින් ඔහේ හිනාවෙනවා  

හිතක් හින්දා මට මාවම අමතක වෙනවා 
රැයක් ගානේ විකාර හිත හිතා ලියනවා 
නාදුනන ආදරේක පැටලිලා  
හිතත් ඔහේ එහෙට මෙහෙට ඇදෙනවා 

හැම තිස්සෙම හිනාවෙවී හිටියාට ඔහොම
ආදරේ කරන්නේ ඔහුටම බව දැන ගත්තු දාට   
අවසර නැතිව ආදරේ කරාට 
හිතක් හින්දා මමත් ඉතින් ගුටි කනවා !!! 





 •  0 comments  •  flag
Share on Twitter
Published on April 13, 2015 08:02

April 11, 2015

ලැජ්ජා බයක් නැති කෙල්ලෙක් !!!!


ලැජ්ජා බයක්  නැති කෙල්ලෙක්..  කියන්නේ අමුතු වර්ෂන් එකක් ද ?? 

ඊයේ රාත්‍රියේ ඇවිත් තිබුණ චෝදනාවක් !! මේක අද උදේ ඇදෙන් නැගිටින්න කලින් දැක්ක වෙලේ ඉදන් මං තාමත් හිතනවා මේ කතාව ගැන.. 

මං සහෝදරයෙක් කියලා හිතපු එක්කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා 

මම ඔයාව මුලදී දැක්කේ හුරතල් නංගියෙක් විදියට..  අහිංසකකමට හැදුන ලැජ්ජාව බය තියෙන චුටි නංගියෙක් විදියට.. එදා එහෙම වුනාට දවස් ගානක් බලාගෙන ඉද්දි හිතපු තරම් පොඩිත් නැහැ කියලා තේරුණා.. බ්ලාහ් බ්ලාහ් " 

මං හිතන්නේ මගේ ජිවිතේ මා වැඩියෙන් ම කම්පනයට සහ දුකට පත් කරපු වචන පේළිය මේ.. 

ලැජ්ජාව සහ බය !! ඔව් මං පිලිගන්නවා කෙල්ලෙක් වුනාම මේ දෙකම අඩු වැඩි වශයෙන් තිබිය යුතුමැයි කියලා.. 

නමුත් සෑම මොහොතකම ඔය කියන ලැජ්ජාව සහ බය කියන කියන දෙක දෝතින් අරගෙන ජිවත් වන සම්ප්‍රදායික ගැහැනියක වීමෙන් මේ 21 සියවසේ ජිවත් විය හැකි ද යන්න මා පෙළනා විශාලතම ගැටළුවයි. 

විරුද්ධ විය යුතු තැන දී විරුද්ධ වන්නටත් කෙලින් කිව යුතු දෑ කිව යුතු තැන් හි දී කියන්නටත් ගැහැනියකට හැකියාවක් තිබිය යුතුය. 

ඒ මගේ මතයයි. 

හිත හොද ගෑණි හැමදාම බඩින් යැයි පුරාණ ගැමියා කිවේ කට කහනවාට නොවේ යැයි මම විශ්වාස කරමි. 

ගැහැණියක ද මලක් විය යුතු අවස්ථාවක මලක් ලෙසින් ද ගලක් විය යුතු අවස්ථාවක ගලක් ද විය යුතුය. 

ගලක් විය අවස්ථාවක මලක් වුවහොත් ගැහැණියකට ජීවිතය වරදින්නට වැඩි කාලයක් යන්නේ නැත. 

ගැහැණියක මාධ්‍යවේදිනියක වූ කල සමාජය ඇයට විවිධ අර්ථකතන දෙති. ඊටත් වඩා ඇය තම මතයක් රැගෙන සමාජයට යන්නට වෙර දරන විට එකී සමාජයම ගල් මුල් සොය සොයා ඇයට පහර දෙන්නට වෙර දරති.  

දන්නා හදුනනා  මිතුරෙකු ( පිරිමි )  සමග රාත්‍රියේ අවශ්‍යතාවයකට දුරකතනයෙන් කතා කිරීම 
රාජකාරිමය  අවශ්‍යතාවයකට දුරකතනයෙන් වෙලාවක්  කලාවක් නැතිව කතා කිරීම 
මහා පාරේ තනි පංගලමේ තම තමන්ගේ වැඩ කටයුතු කරගන්නට යාම
සාමාන්‍ය විහිළුවක් කර උස් හඩින් සිනාසීම 
යහළුවෙකු ( පිරිමි ) සමගින් ගිරවියක සේ කියවීම 
මිතුරන් ( පිරිමි )  සමග ගමන් බිමන් යාම 

මෙකි කාරණා ගැහැණියකගේ ලැජ්ජාව සහ බය නැති කරන කාරණා කියා මම විශ්වාස නොකරමි. නමුත් සමහරු එසේ සිතති. 

තමන් කවුරුන්දැයි තමන් දන්නේහි  නම් තමන් කරනා දෙයහි හොද නරක තමන්ට වැටහීමක් තියේ නම් කැළලක් ඇති නොවන ආකාරයට කටයුතු කල හැකි නම් බිය විය යුතු නැතැයි මම සිතමි. 

ලැජ්ජාව සහ බය  යන සළු පිලි දෙකම පොරවාගෙන සිටිය හැකිය. නමුත් එදාට මේ සමාජයේ ජිවත් වන්නන් ගැහැණිය කෙතරම් අසරණ කරාවි දැයි  හිතා බැලීමත් ඔබටම භාර කරමි. 

අද ඔබ දකිනා යුවතිය කෙදිනක හෝ මේ විශ්වතලයට දරුවෙකු දායාද කර මවක වනු ඇත. 

ඒ දරුවා අවජාතකයෙකු නොකරන්නට දරුවාට සුපිරිසුදු ජාතකයක් ලබා දීමේ වගකීම ගැහැණියක සතුය. ඒ සදහා විරුද්ධ විය යුතු තැන හි විරුද්ධ වීමට ශක්තියක් තිබිය යුතුය. 

ලැජ්ජාව සහ බය කියන සළු පිලි දෙක පොරාවාගත් වත්මන් ගැහැණියට රැකවරණයක් තියේ වී ද ?? 

අතීත සමාජය අනුව නම් හැකිය. නමුත් වත්මන් දුෂිත සමාජය හමුවේ එසේ යැයි සිතිම උගහටය. 

වත්මන් තරුණියක ලෙසින් සිය දෙපා මතින් සිටගෙන ජිවත් වීමද නැතහොත් සම්ප්‍රදායික ගැහැණියක වී දිග තල ගොසින් කෙනෙහෙලිකම් විද දරා ගනිමින් දරුවන් වදා කුස්සිය මුල්ලට කොටු වී බත් තැම්බීම ද මා කල යුතු වන්නේ යැයි මම ඔබෙන්ම විමසමි. 


කිසිවකු ට ඇගිල්ල දිගු කරන්නට නොව රිදුම් දෙන සිත සනසා ගන්නට අකුරු කලෙමි. 

(ඔබ මෙය කියවන බව මම දනිමි. හිත රිදුනා සමාවන්න.. කරන්නට දෙයක් නැත.. එහෙත් ඔබ විසින් ඇති කල හිත් රිදුම ඊටත් වඩා දරුණුය..) 

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 11, 2015 23:01

April 8, 2015

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි


වැස්ස පෙම්වතුන්ට  ආශීර්වාදයක්  කියලා  කවුදෝ  කියලා තිබුණා. ඒ නිසාම  වෙන්න ඇති පෙම්වත් හිත් මේ තරම් වැස්සට ආදරේ කරන්නේ..

ඒ කොහොම වුනත් හිරිකඩ හිතල සුළගයි  මන්දාරම්  අදුරයි එක්ක ලහි ලහියේ වෙල් යාය දිගේ  ඈතින් එන වැහි කෝඩයට ආදරේ නොකරන්නේ කවුද ??

මේ දවස්වල හවසට කෝච්චියේ ගෙදර යනකොට මරදානට මහ වැස්ස වුනාට  මුතුරාජවෙල දිහාවේ පහු කරද්දී  මුතුරාජවෙලට ලං වෙන වැසි අදුර අපුරුවට අහස පුරා සිත්තම් වෙනවා. කෝච්චිය නොයා මුතුරාජවෙල ගාවින් නවත්තගෙන ඉන්නවා නම් කියලා හිතෙන්න තරම් ඒ දසුන හරිම අපුර්වයි.

කෝච්චියේ ජනේලට කම්මුලත් හේත්තු කරගෙන ඒ දිහාවේ බලන් එද්දී මට මතක් වුනේ ඔහුව.

හිමි නොවෙන බව දැන දැනත් මගේ හිත මාවත්  ඇදගෙන ගිහින් නතර කරන්නේ ඔහු ගාව. ඒ ලෙන්ගතුකමට  ආදරය කියලා අරුත් දෙන්න මට බැහැ. හැබැයි එහෙම නොවෙයි කියන්නත් මට බැහැ. මං දන්නා එකම දේ ඔහු හැබෑ නොවෙන හීනයක් කියන එක. එහෙමයි කියලා ඔහුට තියෙන ලෙන්ගතු හිත අමතක කරන්නත් මට බැහැ,

හැමදාම හමුවන හොදටෝම ආඩම්බර හැබැයි ටිකක් සැර චරිතයක්. මටත් නොදැනීම ඔහු ලග හිත නතර වෙන්න තරම් අපුරු පෞර්ශයක් ඔහු ලග තිබුණා. ඒ සේරටම වැඩිය කතා කරන ඇස් දෙකක්..

කඩවසම් පෙනුමයි කතා කරන ඇස් ලගයි නතර නොවෙන ගැහැණු හිතක් තියේවි ද ??

නින්ද අහිමි රාත්‍රීන්ට දෙසවන් ලග තනි රකින්නේ කසුන් කල්හාරගේ ගීත..

කසුන්ගේ ගැඹුරු කටහඩින් භාවාත්මක තනුවක් එක්ක ගැයෙන සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගීතය අහන වාරයක් පාසා නෙත් කොනට කදුලක් උනන්නේ ඔහු මට හිමි නොවෙන බව දැනෙන නිසා ද නැත්තම් කසුන් හරියටම මගේ හැගුම් ගයනා නිසා ද කියන ඒක මං තාමත් හිතනවා.

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

උදේට දුම්රියේ දී නෙත ගැටෙනා ඔහු හමුවුණු දවස් මතක තියා ගන්න නිල් පෑනෙන් දිනේ ලකුණු කරගත්තු දුම්රිය ටිකට් ගොඩක් එකතු කරන්න තරම් ඒ හැගීම බොලද බව මං දන්නවා. ඔහු නාව දවස් වලට දුම්රිය ටිකට් ඔහේ විසික් වෙනවා. 
ඒ සිතුවිලි බොලද වුනත් ඒ සිතුවිලි මාව ජිවත් කරවන හැටි මට දැනෙනවා. නමුත් ඔහු අන්සතු වස්තුවක්. අනිත් අයගේ කතා බහින් මට තේරෙන තරුණිය ඔහුගේ ජිවිතයේ වර්තමානය ද අතීතය ද කියන්න මං දන්නේ නැහැ. ඒ ගැන සොයලා හිත රිද්දගන්නේ මොට ද ?? 
රාත්‍රියේ සිහිනෙන් ලග උන්නාට ආලවන්ත කතා ගෙතුවට උදේට ඇස ලග ඉන්න හීනේ එයිට වෙනස්.. පුංචිම පුංචි වෙලාවක් ලගින් ඉදිවී. එත් හැමදාම නෙවේ. ඇස් වලින් නම් ඕනේ තරම් දොඩමලු වේවි. බහින්න ලං වුනාම වචනයක් දෙකක් කියාවි. හැබැයි ඒ වචනේ දෙකම දවස පුරාම මේ සිත සතුටින් තියෙන බව ඔහුත් නොදන්නවා ඇති.

හිමි  නොවෙන බව දැන දැනත් අහස උසට පෙරුම් පුරන්න.. වචනෙකින් දෙකකින් සතුටු වෙන්න..  ප්‍රේමයේ විල් තෙර අභියස යෞවන සිතක නැගෙන හැගුමන් හරි පුදුමයි.

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
 •  0 comments  •  flag
Share on Twitter
Published on April 08, 2015 10:10

March 27, 2015

කුකවි

රේල් පීල්ලක් මත පිදුණු
අසම්මත මලකි මම
යනෙන කටුක වදන් මත
ඔහේ දැවී දැවී පුදින


නිදිකුම්බා මලක් වූ නිසාවට
තැලී තැලී හුස්ම ගනු මිස
එකවර පාරව යන්නත් ඉඩක් නැති හැඩ
අහෝ ඉකි ගසා ගසා හඩනු මිස
කුමක් කරන්නද මම



 •  0 comments  •  flag
Share on Twitter
Published on March 27, 2015 01:42

March 9, 2015

නමක් දෙන්නේ නැති කවි

අහස උසට කවි පබදින
හීන ගොතන වැහි අදුර
නුඹ හෙමි හෙමින් ඇවිදින් යන්නට
එනවා ද ආයෙම දවසක
මට අලුත් පෙම් කවක් ගොතන්නට


කවි මුමුණන හිතට
පාලුයි හොදටෝම
මන්දාරම් වැහි අදුර
නුඹ ලග නැතිවද කොහෙද

හීන වලට පාට දෙන්න
හිත යට ගැස්සෙන සිතුවිල්ලකට
අත්තටු දෙන්න
කාලය සදිසිය ආයෙම


වැහි අදුර නුඹ හෙමි හෙමින්
පිය මනින්න හිරිපොද වැස්සත්
එකතු කරගෙනම
අපි ලියමු අලුත් කවක්
ධරණී තලය පුරාවට
රැව් දෙන්න..



 •  0 comments  •  flag
Share on Twitter
Published on March 09, 2015 12:22

February 17, 2015

බොද වන්නට මාන බලන හීන


කිලෝමීටර් ගණන් දුර
ගෙවාගෙන ගොස් ඔපිසියට
බැනුම් තොගයක් අසාගෙන
එමි නිවහනට ආයෙම
හෙටත් සුපුරුදු දෙසුම
අසන්නට යන්න බලාගෙන


නැත කිසි හොදක්
කරන්නට ඇත
වැඩ කප්පරක්
කරන කරන වැඩෙහි
ඇත කුමක් හෝ වරදක්


නෙතින් ගලන කදුළට
නැහැ එහි වටිනාකමක්
සිත ගල් කරගත් මිනිසුන් රැසක්
වැඩ වසී රුදුරු සිතින් තවමත්


ගෙවල් කුලිය ගෙවාගන්න
අම්මට බේත් ටික අරගන්න
පොඩි එකට පිටි පෙට්ටියක් ගන්න
උකසට තැබූ ජිවිත රැසක්
එහි කඹුරති දුක් විද විද තවමත්


මහා රුදුරු කොන්ක්‍රීට් වනන්තරේ
විසඝෝර සර්ප විමනෙකි එහෙ
නුඹට බැහැ ගැටෙන්නට ඔහේ
ඇවිත් වැටියන් ගෙපිලේ
පිරිමහගමු අපි කොහොමහරි පුතේ
හිස් අවකාශේ පීරන බරැති සුසුම් දැක
අම්මා මුමුණයි නිතර දෙවේලේ


මට යන්නට නොහැකි වූ දුර
ගෙවා කෙසේ හෝ නුඹ
මගේ පැතුම් ඉටු කල
මගේ අභිමානයයි දුවේ නුඹ
අප්පච්චි තුටින් මුමුණනු
ඇසේ තවමත් දෙසවන් ලග


පොදි බැදගත් උස් අරමුණු
අතහරින්නට ලෝබයි තවම
අප්පච්චිගේ සැනසුම් සිහින
බිද දමන්නටත් දුකයි සිතට


එත් ආයෙම විසඝෝර සර්ප උයනේ
රළු වදන් සිහිව තිගැසෙයි සිත් පතුල
මා එනතුරු පෙර මග බලා හිදින
එරමිණියා පදුරු සිහිවෙනකොට
කුමක් කරන්නද නොතෙරේ තවම මට
                          
1 like ·   •  0 comments  •  flag
Share on Twitter
Published on February 17, 2015 10:03

November 4, 2014

රස්තියාදුකාර සින්ඩරෙල්ලා..

හීන හීන හීන !!!! ඉවරයක් නැති දවස ගානෙම විලිරුදාවෙන් දගලන හීන ගොඩක් !!! ඔව්වා ඔක්කොම සුභද්‍රා නෝනා වගේ ඩයරි කෑල්ලක ලියලා අගුලු දාන්න ඕනේ හෙට අනිද්දා ම.. 

කාසි වත්තේ ලයින් කාමරේක උපද්දුවාට මොකෝ මයේ අම්මා වෙච්ච කාසි වත්තේ ලෙච්චමී මට දීලා තිබ්බ නම තමා සින්ඩරෙල්ලා !! උප්පැන්නේ නම් තියෙන්නේ සින්ඩරෙල්ලා ඇන්ඩර්සන් කියලා. ඒ ඉතින් ලයින් කාමර වල උන් කියන විදියට මගේ අප්පා සුදු මහත්තයෙක් වෙච්චි හින්දා නේ. ඒ කොයික උනත් අවුරුදු 16ක් වෙච්ච දාසට පහුවදා කාසි වත්තෙන් පැනලා එළවලු ගෙනියන ලොරියක් අස්සේ හැංගිලා කොළඹට ආව දාසේ ඉදන් මෙහෙ ඈයෝ මට කිව්වේ රස්තියාදු කාර සින්ඩරෙල්ලා කියලා.

ඒ ඉතින් නිවාඩුවක් හම්බ වුන ගමන් පාරවල් දිගේ රස්තියාදුවේ යන හින්දා.. ඉන්නේ කුරුදු වත්තේ වෙච්චි කොට පාර වල් දිගේ රස්තියාදුවේ ගියාට ඔන්න ඔහේ කමක් නැහැ කියලයි යශෝදරා නෝනා නම් කියන්නේ.. යශෝදරා නෝනාත් හිටපු ගමන් ටොයින් ටොන් පැත්තේ ඇවිදින්න යනවා රැයක් දවාලක් නැතිව.. ඒත් ඉතින් කවුරුත් නම් යශෝදරා නෝනා ට රස්තියාදුකාර යශෝදරා කියන්නේ නැහැ නොවැ. මොකෝ ඉතින් ඒ නෝනා මං වගේ වැඩකාරියක් කියලා යැ පත්තරකාරියක් නේ එයා.

ඒත් ඉතින් සුභද්‍රා නෝනා නම් කියන්නේ මං වැඩ කාරියක් නෙවේ තනි රකින්නියක් කියලා. ඒකත් ඇත්ත. එයාගේ තනි නොතනියට ඉන්න මං ගෙදර වැඩක් කියලා කරන එකක් යැ. ඒවා ට ඉතින් ඔය මාග්‍රට් නැන්දා ඉන්නේ. සුභද්‍රා නෝනා නම් ඔන්න අපේ අත්තම්මාට වැඩිය දුසිමක් දෙකක් වයස අඩු ඇති. එයාට බබ්බු හම්බුනේ නැහැ කියලා එයාගේ මහත්තයා එයා ව දාලා ගිහින් වෙන කෙනෙක් අරගත්තා ලු. එදා ඉදන් එයා උන්නේ තනියම ලු. මට කිව්වේත් මාග්‍රට් නැන්දා. ඒත් ඉතින් බබ්බු හම්බුනේ නැහැ කියලා ඒ මහත්තයා ගියා කියන එක මට අදහන්න නම් බැහැ. මාග්‍රට් නැන්දා අතිනුත් දාලා කියනවා ද කොහෙද.

එහෙනම් ඉතින් මයේ අප්පා මයේ අම්මව දාලා ගිහින් තිබුනේ බබ්බු හම්බු වෙන්න යනවා කියලා දැන ගත්තු හන්දා ලු නේ. මං එක යශෝදරා නෝනා ට කිව්වා ම එයා නම් කිව්වේ පිරිමි කියන එවුන් තේරුන් ගන්නම බැරි ජීවී කොට්ටාසයක් කියලා. ජීවී කොටහක් කියන්නේ මොකක්ද ඇහුවා එයා කිව්වේ ඒ නිකන් සත්තු වර්ගයක් කියලා.

එතකොට පිරිමි කියන්නේ සත්තු ද ?? යශෝදරා නෝනාත් මාග්‍රට් නැන්දා වගේම ද කොහේ ද..  කියන්නේ ම අණ්ඩර දෙමළ..

හවසට ටොයින් ටොන් යද්දී ශාස්ත්‍රී හම්බුනා ම අහන්න ඕනේ පිරිමි කියන්නේ ඇත්තටම මොක්කු ද කියලා. ශාස්ත්‍රී කියන්නෙ සුභද්‍රා නෝනා ගේ යාළු නෝනා කෙනෙක් ගේ දුවෙක් ලු. එහෙම තමා සුභද්‍රා නෝනා නම් කිව්වේ. සුභද්‍රා නෝනායි  එයාගේ යාලු නෝනා යි ශාස්ත්‍රී යි එක හෙලාම කිව්වලු ශාස්ත්‍රී ට නෝනා කියන්න එපා කියලා. එයාව මගේ යාළුවා හැටියට හිතන්ට කියලා. ඒත් ඉතින් එහෙම හොදත් නැහැ. ඒත් ශාස්ත්‍රී නම් කියන්නේ එකේ වරදක් නැහැ ලු. සුභද්‍රා නෝනා මාව හදන්නේ එයාගේ දරුවෙක් වගෙයි ලු. ඉතින් මං ඉන්න ඕනේ එයාගේම දුව හැටියට ලු.

අනේ මන්දා මේ කොළඹ හතේ සල්ලිකාර නෝනාලගේ අමුතු අදහස්.. !!!


සුභද්‍රා නෝනා මං එයාගේ දුවෙක් වගේ ය කියනවා හැංගිලා අහන් උන්න මාග්‍රට් නැන්දාත් කුස්සිය මුල්ලට වෙලා කිව්වෙත් ඔය ටිකම තමා. හැබැයි ඒ අන්තිමට තව වචනෙකුත් එකතු කරලා. ඒ ඉතින් මෙන්න මෙහෙම.

අනේ මන්දා මේ කොළඹ හතේ සල්ලිකාර නෝනාලගේ අමුතු අදහස්.. !!! විකාර !!


                                                                                                 - අරුණි කළුපහන -
                                                                                                 aruni.kalupahana@gmail.com
 •  0 comments  •  flag
Share on Twitter
Published on November 04, 2014 01:26