රස්තියාදුකාර සින්ඩරෙල්ලා..

හීන හීන හීන !!!! ඉවරයක් නැති දවස ගානෙම විලිරුදාවෙන් දගලන හීන ගොඩක් !!! ඔව්වා ඔක්කොම සුභද්‍රා නෝනා වගේ ඩයරි කෑල්ලක ලියලා අගුලු දාන්න ඕනේ හෙට අනිද්දා ම.. 

කාසි වත්තේ ලයින් කාමරේක උපද්දුවාට මොකෝ මයේ අම්මා වෙච්ච කාසි වත්තේ ලෙච්චමී මට දීලා තිබ්බ නම තමා සින්ඩරෙල්ලා !! උප්පැන්නේ නම් තියෙන්නේ සින්ඩරෙල්ලා ඇන්ඩර්සන් කියලා. ඒ ඉතින් ලයින් කාමර වල උන් කියන විදියට මගේ අප්පා සුදු මහත්තයෙක් වෙච්චි හින්දා නේ. ඒ කොයික උනත් අවුරුදු 16ක් වෙච්ච දාසට පහුවදා කාසි වත්තෙන් පැනලා එළවලු ගෙනියන ලොරියක් අස්සේ හැංගිලා කොළඹට ආව දාසේ ඉදන් මෙහෙ ඈයෝ මට කිව්වේ රස්තියාදු කාර සින්ඩරෙල්ලා කියලා.

ඒ ඉතින් නිවාඩුවක් හම්බ වුන ගමන් පාරවල් දිගේ රස්තියාදුවේ යන හින්දා.. ඉන්නේ කුරුදු වත්තේ වෙච්චි කොට පාර වල් දිගේ රස්තියාදුවේ ගියාට ඔන්න ඔහේ කමක් නැහැ කියලයි යශෝදරා නෝනා නම් කියන්නේ.. යශෝදරා නෝනාත් හිටපු ගමන් ටොයින් ටොන් පැත්තේ ඇවිදින්න යනවා රැයක් දවාලක් නැතිව.. ඒත් ඉතින් කවුරුත් නම් යශෝදරා නෝනා ට රස්තියාදුකාර යශෝදරා කියන්නේ නැහැ නොවැ. මොකෝ ඉතින් ඒ නෝනා මං වගේ වැඩකාරියක් කියලා යැ පත්තරකාරියක් නේ එයා.

ඒත් ඉතින් සුභද්‍රා නෝනා නම් කියන්නේ මං වැඩ කාරියක් නෙවේ තනි රකින්නියක් කියලා. ඒකත් ඇත්ත. එයාගේ තනි නොතනියට ඉන්න මං ගෙදර වැඩක් කියලා කරන එකක් යැ. ඒවා ට ඉතින් ඔය මාග්‍රට් නැන්දා ඉන්නේ. සුභද්‍රා නෝනා නම් ඔන්න අපේ අත්තම්මාට වැඩිය දුසිමක් දෙකක් වයස අඩු ඇති. එයාට බබ්බු හම්බුනේ නැහැ කියලා එයාගේ මහත්තයා එයා ව දාලා ගිහින් වෙන කෙනෙක් අරගත්තා ලු. එදා ඉදන් එයා උන්නේ තනියම ලු. මට කිව්වේත් මාග්‍රට් නැන්දා. ඒත් ඉතින් බබ්බු හම්බුනේ නැහැ කියලා ඒ මහත්තයා ගියා කියන එක මට අදහන්න නම් බැහැ. මාග්‍රට් නැන්දා අතිනුත් දාලා කියනවා ද කොහෙද.

එහෙනම් ඉතින් මයේ අප්පා මයේ අම්මව දාලා ගිහින් තිබුනේ බබ්බු හම්බු වෙන්න යනවා කියලා දැන ගත්තු හන්දා ලු නේ. මං එක යශෝදරා නෝනා ට කිව්වා ම එයා නම් කිව්වේ පිරිමි කියන එවුන් තේරුන් ගන්නම බැරි ජීවී කොට්ටාසයක් කියලා. ජීවී කොටහක් කියන්නේ මොකක්ද ඇහුවා එයා කිව්වේ ඒ නිකන් සත්තු වර්ගයක් කියලා.

එතකොට පිරිමි කියන්නේ සත්තු ද ?? යශෝදරා නෝනාත් මාග්‍රට් නැන්දා වගේම ද කොහේ ද..  කියන්නේ ම අණ්ඩර දෙමළ..

හවසට ටොයින් ටොන් යද්දී ශාස්ත්‍රී හම්බුනා ම අහන්න ඕනේ පිරිමි කියන්නේ ඇත්තටම මොක්කු ද කියලා. ශාස්ත්‍රී කියන්නෙ සුභද්‍රා නෝනා ගේ යාළු නෝනා කෙනෙක් ගේ දුවෙක් ලු. එහෙම තමා සුභද්‍රා නෝනා නම් කිව්වේ. සුභද්‍රා නෝනායි  එයාගේ යාලු නෝනා යි ශාස්ත්‍රී යි එක හෙලාම කිව්වලු ශාස්ත්‍රී ට නෝනා කියන්න එපා කියලා. එයාව මගේ යාළුවා හැටියට හිතන්ට කියලා. ඒත් ඉතින් එහෙම හොදත් නැහැ. ඒත් ශාස්ත්‍රී නම් කියන්නේ එකේ වරදක් නැහැ ලු. සුභද්‍රා නෝනා මාව හදන්නේ එයාගේ දරුවෙක් වගෙයි ලු. ඉතින් මං ඉන්න ඕනේ එයාගේම දුව හැටියට ලු.

අනේ මන්දා මේ කොළඹ හතේ සල්ලිකාර නෝනාලගේ අමුතු අදහස්.. !!!


සුභද්‍රා නෝනා මං එයාගේ දුවෙක් වගේ ය කියනවා හැංගිලා අහන් උන්න මාග්‍රට් නැන්දාත් කුස්සිය මුල්ලට වෙලා කිව්වෙත් ඔය ටිකම තමා. හැබැයි ඒ අන්තිමට තව වචනෙකුත් එකතු කරලා. ඒ ඉතින් මෙන්න මෙහෙම.

අනේ මන්දා මේ කොළඹ හතේ සල්ලිකාර නෝනාලගේ අමුතු අදහස්.. !!! විකාර !!


                                                                                                 - අරුණි කළුපහන -
                                                                                                 aruni.kalupahana@gmail.com
 •  0 comments  •  flag
Share on Twitter
Published on November 04, 2014 01:26
No comments have been added yet.