Aruni Kalupahana's Blog, page 3

April 30, 2017

මා ලියු සොදුරුතම කවිය ඔබ

හීන අස්සේ පෙරලි කරන
දෑස අස්සේ රටා මවන
සිත පුරාවට කතා කියන
මා ලියු සොදුරුතම කවිය ඔබ

ආලවන්ත මතක තියා හැඩ කරන
අකුරින් අකුර මක මකා ලියන
හද ගැස්ම ලගින් සීරුවට අඩි තියන
මා ලියු සොදුරුතම කවිය ඔබ

පෙම්බර වදන් පසෙකින් තබා
නමක් නැති පදපෙලක් ළගින් තියා
හිත පුරාවට අයිතිවාසිකම් කියා
මා ලියු සොදුරුතම කවිය ඔබ

සිත සනසාලු සෙත් පිරිතත් ඔබ
හද දවාලු අහසේ ආඩම්බර සදත් ඔබ
පියවරෙන් පියවර සිත ගස්සා තාල ගේන
මා ලියන සොදුරුතම කවියත් ඒ ඔබ




aruni ;)

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 30, 2017 12:45

සිත

රිදී රිදී
රිදුම් දෙන සිත
කැඩී කැඩී
බිදී යන සිත

තැලී තැලී
අයදිනා සිත
වැටි වැටි
මියැදෙනා සිත

මැරී මැරී
යලි උපදිනා සිත
හෙමි හෙමින්
හුස්ම ගන්නා මේ සිත


 •  0 comments  •  flag
Share on Twitter
Published on April 30, 2017 09:26

April 25, 2017

මියැදෙමි. ආයෙත් නොඑන්නට මියැදෙමි.

හිත කිරිගස්සන ඒ කටුක වේදනාව දරා ගත නොහැකිව හිත හදා ගන්නට මා එකලත් බෝ දේ කලෙමි. මහා පාන්දර ජාමේ කොට්ටෙක මුහුණ ඔබාගෙන කදුළු ගංගා මුදා හැරීමෙන් අනතුරුව හුස්ම හිර වෙන්න ට වූ කල මහා කළුවරේ කිසිවෙකුට නොඇසෙන්නට නිවසින් එලියට දිව ගොස් පිටිපස මිදුලේ වූ ගල් බංකුව මත හිද කෑ හඩා වැටුනේ මා ය. කළුවරටත් බය කෙල්ලක යැයි සන්හුරේම ප්‍රකටව වුන් මා රෑ එකට දෙකට එලි පෙහෙලියට ගොස් එසේ හඩාවී යැයි අසල්වාසින් පමණක් නොව මා ගැන හොදින්ම දන්නා අම්මාවත් නොසිතන්නට නොපතන්නට ඇතිය. නමුත් අහසේ දිලෙන සදත් තරුත් මගේ වේදනාව දන්නවා ය. විටක මහා පාර මැද දී පවා හඩන්නට වූ විට දෑස් තදින් වසා කදුළු ගිල ගත්තේ මා ය. ඉවසා දරා ගත නොහැකිම තැන පැනඩොල් අහුරු පිටින් ගෙන ජීවිතය තොර ගන්නට වෙර දැරුවේ මා ය. පැනඩෝල් සියල්ල ආපසු වමනය කරන තුරු උත්සාහ අත් නොහැරිය අම්මාත් පිහියක් ගෙන මැණික් කටුව අසලින් කපා ගන්නට යාමේ දී දිව ආ අම්මාත් නොසිටින්නට මා අදත් සැනසුම් නින්දකය. ඒ මිට හය හත් මාසෙකටත් දෙතුන් අවුරුද්දකටත් පෙර සිදු වූ සිදුවීම් ය.
පාරමී සුභාර්තා පිටිගල්ආරච්චි නම් මා සෙනරත් පිටිගල්ආරච්චි නම් සිංහල මහාචාර්යවරයාගේ ගත්කතුවරයාගේ එකම දියණිය යයි රටක් නිර්වචනය කරයි. අප්පච්චිගේ සරසවියේ සිසු සිසුවියන් අප්පච්චි සේම රටක් ඉදිරියේ සිංහල භාෂාවත් සමගින් වචන සමගින් සෙල්ලම් කරනා මා දෙස බලා ඉරිසියා කරයි. නමුත් කෙතරම් ලියන්නට ලෝකය දකින්නට හපන්කම් තිබුන ද මා ජීවිතය අභියස පැරදී ඇතැයි ලෝකයා දන්නේ නැතිය. සුරංගනාවකගේ තරම් සොදුරු ජිවිතයක් මට ඇතැයි උපකල්පනය කරන්නන්ට සාප කරන්නට තරම් මම වේදනා විදිමි.
සංකල්ප මිතුරෙකු ලෙසින් මගේ ජිවිතේට එබෙන්නේ මට අවුරුදු 12ක් පමණ වන පුන්චි කාලයේ දීය. නමුත් අම්මාගේත් අප්පච්චිගේත් හිත මිතුරු පවුලක පුත්‍රයෙකු වූ සංකල්ප මට අවුරුදු 16 පටන් මට ආදරේ කරන්නට පටන් ගන්නේ මගෙන් අවසර නොගෙනම ය. කොටින්ම කිව්වොත් බලහත්කාරයෙනි. අම්මත් අප්පච්චිත් ඊට විරුද්ධ නොවූ නිසාවෙන් ඔහුට කැමත්තක් කරගන්න ට ඉඩ දී මා බලා සිටියෙමි. කොටින්ම කිව්වොත් ඔහු මගේ ජිවිතයේ තුල රිසි සේ සියලු නැටුම් නටන තුරු මම නිහඩව බලා උන්නෙමි.
අප්පච්චි.. මගේ ආදරණිය අප්පච්චි සිතුවේ මා සංකල්පට ආදරේ කරනවා යැයි කියා ය. වසර හයක් තිස්සේ සංකල්පගේ හිරිහැර විදිමින් සංකල්පට රිසි සේ ජිවත් වෙමින් පමණක් නොව සංකල්පගෙන් රිසි සේ ගුටි බැට විදිමින් මා ඇහැක් සේ රැක්කා යැයි සිතු අම්මටවත් අප්පච්චිටත් රහසේ මා නිහඩව සිටියෙමි.
මලක් සේ නියපටගින්වත් නොරිදා හැදු දෝනිට සංකල්ප කාමරයක් අස්සේ බිම වැටෙන්න ගුටි බැට දෙනයුරු අප්පච්චි එකවරක් හෝ දුටුවා නම් අප්පච්චි ලය පැලි මියැදෙන්නේ මිට වසර ගණනාවකට පෙරදීය. සංකල්ප කිසි දා කිසිවකුට හේතු නොඉල්ලූ මිනිසෙකි. මගේ ලියවිල්ලේ එක අකුරක ඉදන් මගේ කැම්පස් ජිවිතයේ මා ආශ්‍රය කරන එකදු පිරිමි සෙවනැල්ලක පටන් පාරමී පිටිගල්ආරච්චි තබනා පියවරක් පාසා ඔහුට ඒ ගැන විවේචනයක් තිබුණි. එක් අයුරුකින් සංකල්ප මෘගයෙකු යැයි ඔබ දැන් කියන්න ට ඉඩ ඇත. නැත. ඔහු මෘගයෙකු නොවේ යැයි වසර හයක් තිස්සේ ඔහුව දන්නා මම ඔබට කියමි. ඔහු විටක ආදරණිය මිනිසෙකි. ඔහු ගේ අම්මට තාත්තාට සේම මගේ අම්මටත් අප්පච්චිටත් ඔහු ඉතා ආදරණිය පුතෙකි. සොයුරන්ට ආදරණිය අයියෙකි. මිතුරන්ට බොක්ක වුනත් ගලවා දෙන ඉතා යහපත් මිත්‍රයෙකි. නමුත් පාරමී පිටිගල්ආරච්චි නම් වූ මට පමණක් ඔහු වෛර කලේ ය. දෑස් දෙකට පෙනෙන්නට බැරි තරම් ඔහු මට වෛර කරන්නට ඇතැයි මට විටෙක සිතෙන තරම් ඔහු මගේ හිතට පන්න පන්නා පහර දුන්නේ ය.
අම්මටත් අප්පච්චිටත් රහසේ ගුටි කමින් ආදරේ යැයි මායාවක ගිලි හිද අවසන් වූ තැනක මන් පැනඩෝල් සහ පිහි ආධාරයෙන් ජිවිතයෙන් සමුගන්නට තැත් කලෙමි. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ තැන් හිදී අතට අසු වූ ඇදුම් ටික මල්ලක ලා ගෙන අත්තම්මාගේ නිවසට පලා ගොස් සිටියේ ද මා ය. එහෙත් පාරමී පිටිගල්ආරච්චි නම් මගේ ජිවිතයේ සියලු අයිතිවාසිකම් නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන සිටි සංකල්ප දින කිහිපයක් යද්දී මා ආපහු නිවසට කුදලාගෙන ආවේ ය. අයිතියක් නැති නම් කොයිද ඔහුට ඒ තරම් හයියක් යැයි ඔබ අසනා බව මා දනිමි. නමුත් ආදරණිය වෙන්න ඉන්න බෑණනුවන් කියන තනතුරේ හිදිමින් ඔහු සියලු අයිතිවාසිකම් යටපත් කරගෙන සිටියේය. බලහත්කාරයෙන් සිප ගැනීම් මද්දයේ වුව ද ඔහුට ගන්න ට බැරි වූ එකම දෙය යැයි මට අවසානයේ ඉතුරු වුයේ ගැහැණු දරුවෙකු ලෙසින් මට වටිනාම දෙය වූ මගේ පිවිතුරුකම පමණක් මය. සංකල්ප වන් මිනිසෙකුගෙන් ඉදුල්ව මියැදෙනවා ට වැඩිය මට නොයිදුල් ව මියැදෙන්න ට අවැසි යැයි මා තාමත් කියමි.
ආවේග දරා ගත නොහැකිව මගේ අම්මා ද ඉදිරිපිට බිමට මට පහර දුන් දිනෙක මා දිව ගොස් අප්පච්චිගේ දෙපා මුල වැටි කෑ ගසා හඩමින් සියල්ල වැමරුවෙමි. අම්මා එය උරුම ජීවිතය යැයි කිව ද අප්පච්චිගේ හැම හුස්මක් පාසා සංකල්ප කෙරෙහි වූ කෝපයෙන් පිරි තිබුණි. අම්මාත් අප්පච්චිත් එදින මට සංකල්ප ගැන තීරණයක් ගන්න ට කිව ද මා අසරණ ව බලා සිටියෙමි. ඇත්තය. මා සංකල්පට බිය ය. වල් අලින් සියක් හමුවේ මට සටන් කරන්න ට හැකිය. නමුත් සංකල්ප ට මා බය ය. ජීවිතය එය යැයි ඉවසා ව ගන්න ට තරම් කියා මට මහා ලොකු කාලයක් නොලැබිණි. ඉතින් සංකල්පගේත් මගෙත් විවාහයට දැන් දැන් සියල්ල සුදානම් කරන්නේ ද කැමති තීරණයක් ගන්න ට කියා මට කියූ අම්මත් අප්පච්චිත් ය. වසර ගණනක් තිස්සේ ලෝකයා දැන හුන් පෙම් කතාවක් බිද දමන්නට නොහැකි යි ඔවුන් මා හට ඇවිටිලි කරන්නේ මා ගැන ද නොසිතා ය. එහෙත් ඔහුට ආදරය නොකර මාත් මට ආදරය නොකරන ඔහුත් එක් ව කුමක් කරන්න ද කියා ඔවුන් නොසිතන්නේ මන්ද යැයි මට වැටහෙන්නේ නැතිය.
විවාහය යනු මගේ ජීවිතය යැයි මා විශ්වාස නොකරමි. විවාහ නොවී ගැහැනියක ට තනිව ජිවත් විය හැකි මා විශ්වාස කරමි. ඉතින් මා සටන් කලෙමි. සිංහ ධේනුවක ලෙසින් සංකල්ප හා කලහ කොට ගුටි කෑවෙමි. අම්මා සමගින් වාද කරමින් බැනුම් ඇසුවෙමි. අප්පච්චි අසලදී අප්පච්චිත් මාත් දෙදෙනාම අසරණ ව සිටියෙමි. දැන් තබන අඩියක් පාසා මගේ නැදෑ සනුහරේම මට සංකල්පගේ ගුණ වයමින් සිටි. මා කෙතරම් අවාසනාවන්ත දැයි මා නොදනිමි. නමුත් දෙතුන් මාසෙකින් මට සංකල්ප බිරිද වන්න ට තරම් කාලකන්ණි තත්වයකට ඇද වැටෙන්නට නොහැකිය. අප්පච්චි මට දුන් දායාදය මගේ වචනය. මගේ ලිවීමේ හැකියාව. ඒ මුහවත් කමින් ම මම මගේ අරගලය කර ඇත්තෙමි. ඒ කවි ලෙසිනි. කතන්දර ලෙසිනි. වේදනාව දරා ගත නොහැකි තැන මා පලි ගත්තේ වචන තුලිනි. රිසි සේ හිතට දැනෙන වචන එහෙ මෙහෙ දුවවමින් මා වචන සමගින් සෙල්ලම් කොට කවි බවට පත් කර මගේ ප්‍රකාශනය ඉදිරිපත් කලෙමි. මා මගෙන්ම පලි ගත්තේ එහෙමය.
පාරමී සුභාර්තා වුව ද මගේ නමෙහි පවා ඇති සුභ අර්ථය කුමක් දැයි රෑ දිවා මා මගෙන්ම විමසමි. මා මහා පව්කාරියක්මි.  නමුත් මේ තරම් ආදරේ නොලබන්නට තරම් මේ තරම් ආදරේ මග හැරෙන්න ට තරම් පිවිතුරු ආදරයක උරුමකාරියක වන්නට නොහැකි වන්නට තරම් මා කෙතරම් පව් කරන්නට ඇති දැයි මා නොදනිමි. මා මෙසේ මගේ වේදනාව අකුරු කරනා මොහොතේ පවා සංකල්ප කොහේ හෝ හිදින කෙල්ලක හා චැට් කරමින් මල් කඩමින් හිදිනා වග ද මා දනිමි. මා එය දකිමි. නමුත් මටත් වඩා පව්කාරයෙක් වූ ඔහුටත් නොමැති තරම් මේ තරම් ගින්දරක් දළදා හාමුදුරුවන් මට දුන්නේ ඇයි දැයි මා නොදනිමි.
දෛවය යැයි සිත හදා ගනිමින් ජීවිතය ගෙවන්නටවත් ඉරණම්කරු යැයි සිත හදා ගනිමින් සංකල්ප බිරිද වෙන්නටවත් නොහැකි හෙයින් නුදුරු දිනකින් නැවත ද ජිවිතයෙන් සමුගෙන යන්න ට මා තීරණය කලෙමි. ජිවිතයේ සුබ ලකුණක් සොයා ගත නොහැකිව වසර හයක් ඉබා ගාතේ කල් ගෙවූ මා තව කෙතරම් නම් කල් බලා හිදින්න ද ? සුන්දර යැයි කිව හැකි ජීවිතයක් නැති කල හැකියාව නම්බු නාමයක් පල රහිතය. මා සොදුරු කිවිදියක බවට සොදුරු ලිය්න්නියක බවට පත් කලේ මගේ වේදනාව යැයි මා යලිත් ඔබට කියමි. එහෙත් තවත් කල් ඒ සොදුරු කවිකම් දරා කුමට ද ? කවුරුන් නිසාවෙන් ද ?                                                                                                   මම,
පාරමී සුභාර්තා පිටිගල්ආරච්චි



 •  0 comments  •  flag
Share on Twitter
Published on April 25, 2017 08:35

April 23, 2017

;)

පුර පෝය සද හිනැහෙන නිසල පාළු රැයකසද එලිය මතින් ඇවිද ඔබ එනවාද මාත් එක්කරුවන්වැලි මළුවේසක්මනේ යෙදෙන්න
පොට්ටු සියපත් අහුරු එක්ක සුදු පිච්ච දෝතක් ගෙන දළදා හාමදුරුවන්ගෙන් අපේ ආදරේට අවසර ගන්න ඔබ එනවද මාත් එක්ක මාළිගාවේ පියගැට පෙළ නගින්න
දෙව්ලොවින් පිදුරන්ගලට වැටෙන ලා හිරු එළිය සිප ගන්නගල් තලාවක් මතින් හිද සිගිරියට පෙම් වඩන්නඉස්සර දවසක ඒ හෙවණේකස්සප රජුන්ටත් හොර රහසේඅපි පෙම් බැන්ද හැටි සිහි කර මුදු සිනා නගන්නහිමිදිරියටත් කලියෙන්මඔබ එනවාද මාත් එක්කරාවණා අඩවිය හොයන් යන්න
ඝන සීතලේ කම්මුල් ගැස්සෙන තෙත පිනි බින්දු වැටෙන යාමෙක තිස්ස වැව අයිනේ ඉදන් මොහොතකට වහන් වෙලා ඉසුරුමුණියේ පෙම් සුව විදින්න ඔබ එනවද මාත් එක්ක අතීතයේ පෙම් බැන්ද අහුමුලු අදින්න
රතු වාටි වැටුණු සුදු සාරි ඇදන් පිච්ච මල් මාලෙත් ගොතන් රතු සින්දුර් තිලක තියන් පුජාවේ බෙර හඩ ඇහෙන කොට වතු යාය මැද්දෙන් කෝවිල් දුවන්න  මා එන්න ද ඔබත් එක්ක ආදරයේ මතක මාලිගා තනන්න
සියොත් පෙම් ගී අස්සෙන්  මන්දාරම් වළාකුළු වලටත් රහසින් ඉතින් මා එන්න ද ඔබත් එක්ක ආදරයේ මතක මාලිගා තනන්න

-          අරුණි

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 23, 2017 06:25

April 19, 2017

කඳුකර මතක

කම්මුල් ඉරිතලා යන තද සීතල එක්ක මන්දරා උන්නේ ග්‍රෙගරි වැව ගාව උද්‍යානයේ තණකොළ බිස්සේ ඉදගෙන. අනිත් කට්ටිය ඊට ටිකක් එහායින් රවුමට බිම ඉදගෙන ගීතයක් මුමුණමින් හිටියේ ඉර බැහැගෙන යන සප්ත වර්ණ මුසු වුනු හැන්දෑවට අමුතු චමත්කාරයක් එක්කරමින්. පවුල් පිටින් තනි තනිව ජෝඩු ජෝඩු විවිධ අය ග්‍රෙගරි වැව රවුමට ඇවිදින් හිටියේ හැන්දෑවේ චමත්කාරය විදිනවාටත් වැඩිය ගෙග්‍රරි වැව අවට සීතල එක්ක මුහු වෙලා තිබුණු අමුතු ම හුදකලාව අත්විදින්න වෙන්න ඇති කියලයි මන්දරාට හිතුනේ. හෙමිහිට රැලි නැගුවද ගාම්භීර බවක් මවාගෙන ඉන්න ග්‍රෙගරි වැව දිහාවේ මොහොතක් කල්පනාවේ බලාගෙන හිටපු මන්දරාට තවත් එතනට වෙලා ඉන්න කම්මැලි හිතුනා.
ඔබ දකින්න ට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා  කිමද මේ සසල සිත
ඔබේ රුව මැවී මැවී පෙනෙනවා අතරමං සිතුවිලි තුල කිමද මේ සොදුරු බව
අතැගිලි වැදී ස්වර නගන ගිටාරය යොවුන් කටහඩවල සමුහය එක්ක එකතු වෙලා වා තලයට සුන්දර හැගීමක් එක් කළා. හෙමිහිට හුන් තැනින් නැගිට්ට මන්දරා හෙමිහිට පියවර එසෙව්වේ ටික දුරක් හෝ තනියම ඈතට ඇවිද යන්න හිතාගෙන. ඇයටත් මේ සොදුරු ගුප්ත හුදකලාවේ මොහොතකට හෝ තනි වෙන්න වුවමනා වෙලා තිබුනා. වට රවුම් පාර දිහාවට හැරුණත් ඒ පාර දෙපස රෝස මල් මිටි ගණන් තියාගෙන විකුණන අය සේම සිතලට අදින විවිධ ඇදුම් පැළදුම්, ස්ට්‍රෝබරි, විවිධ සිහිවටන වෙළදාමේ යෙදෙන පිරිස්ගෙන් පිරි තිබුනා. ඒ නිසාම ඇය ග්‍රෙගරි වැව අසලින් ම වැටි තිබුණු පුංචි අඩි පාර තෝරා ගත්තා. නෙක වර්ණ මල් වලින් විතරක් නෙවෙයි ගොම්මන් කළුවර පලවා හරින ලා කහ පාට පහන් කණු ගෙනාවේත් අමුතු හුදකලාවක්. හෙමිහිට ආදර බස් තෙපලන පෙම්වතුන් ට අවට ලෝකය ගැන ගානක්වත් තිබුනේ නැහැ. පෙම්වතුන්ගේ ආදරණිය හැන්දෑවන් මැදින් මන්දරා ඇවිදින් තිබුනේ මදක් හුදකලා වුනු පෙදෙසකට. අසල ජල තලය මත හෙමිහිට නැලවී නැලවී තිබ්බේ බෝට්ටු ගෙදරක්. ඊට එහා පැත්තේ තවත් පුංචි බෝට්ටුවක්. කැමති කවුරු හරි ඉන්නවා නම් නැගලා බහින්න බැරි කමක් නැහැ කියන්න වගේ බෝට්ටු ගෙදරයි පුංචි බෝට්ටුවයි තිබුනේ ඉවුර අයිනේ මයි. බෝට්ටුවට නැගලා බලන්න හිතුනත් ඒ එක්කම මන්දරාට අපුරු අදහසක් හිතුනා. අපුරු කිව්වට ටිකක් පිස්සු අදහසක්. ඒ ග්‍රෙගරි වැවේ වතුර සීතලේ තරම වැවට අතදාලා මනින්න. වට පිට බලලා මන්දරා හෙමිහිට අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බා.
“ ඒයි.. “ එකවර පිටුපසින් ආපු ශක්තිමත් අතක් මන්දාරා ව පිටිපස්ස ට ඇදලා හරවලා ගත්තා. ඊලග මොහොතේ ශක්තිමත් අතෙහි අයිතිකාරයා මන්දරා ඉස්සරහ. වයස නම් කියක් ද මන්දා. බෙල්ල ගාවට වැහිච්ච කළු ජර්සි එකකුයි ඇදපු මුහුණ පුරා කොට රැවුල් කෑලි වලින් එහෙන් මෙහෙන් වැවිලා තිබ්බ වස නපුරු මුණක්. එකපාර අන්ද මන්ද වෙලා හිටපු මන්දරාට හිනා ගියේ නාදුනන මුහුණේ තිබ්බේ වස නපුරු පෙනුම දැකලා.
“ මැරෙන්න ද යන්නේ.. “
ආයෙත් වස නපුරු මුහුණ ආයෙත් බෙරිහන් දෙනවා. හැන්ඩ්සම් පොෂ් පෙනුමක් තිබ්බට නම් මොකද බෙරිහන් දෙන්නේ රෑට කාපු නැති රොට්වයිලර් කෙනෙක්ටවත් හපන් විදියට කියලයි ඒ ඔක්කොම අස්සේ මන්දරාට හිතුනේ. කොහොමත් මන්දරා කියවනවට වැඩිය හිතනවා ස්පීඩ් වැඩි.
“ නැහැ.. ඇයි.. “
මන්දරා හිනාවක් අතරින්ම ඇහුවා.
“ එහෙනම් අර මොන මගුලට ද අර ලේක් එක ඇතුලට අඩිය තියන්න ගියේ. “
“ අඩිය තියන්න නෙවෙයි. වතුර වල සිතල බලන්නයි ගියේ.. “
මන්දරා සන්සුන්ව කිව්වත් අර වස නපුරු මුහුණ නම් සන්සුන් වෙන පාටක් නැහැ.
“ පිස්සු ද ඕයි.. මේ පට්ට සීතලේ වතුර වලවල් අස්සේ විකාර කරන්නේ.. “
“ ඇයි එහෙම කරන්න එපා කියලා නීතියක් මේ කොහේ හරි ලියලා තිබුනා ද ? අනේ මන් දැක්කේ නැහැ නේ එහෙම එකක්. ටිකට් එකේවත් තිබ්බේ නැහැ.. “
මන්දරාට හිතුනෙම ඒ වස නපුරු මුහුණට විහිළුවක් කරලා අවුස්සන්න. හිතුවාටත් වැඩිය ඔහුගේ මුහුණ කේන්තියෙන් රතු වුනා.
“ අනේ මේ.. පව් නොදී ඕනි එකක් කරගන්නවා එහෙනම්..  ඇද ඇද හිටපු චිත්‍රෙත් පැත්තකින් තියලා ආවේ මැරෙන්න යනවා කියලා හිතලා.. දැන්ම ගිහින් මැරෙනවා ඕනි නම් අන්න තියෙනවා වැව.. “
කේන්තියෙන් කියපු ඔහු ආපහු හැරුනා.
“ අපරාදේ පිනක් කරගන්න තිබ්බ චාන්ස් එක නේද මිස් වුනේ .. “
ඒ පාර නම් මන්දරා ඇහුවා නෙවෙයි ඇහුනා. ඒක ඇත්තටම මන්දරාගේ බ්රේක් නැති කටේ වැරද්දක්. කේන්තියෙන් හැරිලා බලලා අඩියක් ඉස්සරහට තිබ්බ ඔහු ආයෙත් හැරිලා යන්න ගියේ ඊට ටිකක් එහායින් තිබ්බ ලි බංකුවක් දිහාවට. ලී බංකුව උඩ කරේ එල්ලන් යන බෑග් එකක් උඩ කාර්ඩ් බෝඩ් එකක් වගේ කඩදහියක් තිබුනා. ඔක්කොම අය ඇවිල්ලා ග්‍රෙගරි වැවේ හුළග විදින කොට මෙයා විතරක් මෙතන පින්සල් පාරවල් ඇද ඇද ඉන්නවා.. මන්දරාට හිතුනා. හැබැයි මේ පාර නම් වෙලාවට හිතුන දේවල් වචන වලට පෙරලුනේ නැහැ.  ඒ වෙනුවට අඩි පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියේ නැගුනු හිනාවත් එක්කමයි.  ටිකක් දුර යද්දී මන්දරාට කලින් ඇවිදින්න ආව මන්දරාගේ යාළුවො ටිකක් ෆොටෝ ශුට් එකක්.  කැමරාවක් දැක්කත් ඇති කට්ටිය.. එක්කෙනෙක් ෆොටෝ හැටක් විතර අරන් තමා නවතින්නේ.. පස් හය දෙනෙක් ඉදන් ෆොටෝ හැට හැට වගේ ගන්න ගියාම ඉතින් ෆොටෝස් ගන්න ශමරාට නම් හොද ගණන්..
“ ඒයි මන්දී.. කොහෙද යන්නේ.. “
ඒ ශමාරා...
“ රස්තියාදුවේ... “
“ අපි යනවා හොල්මන් මන්දිරේ බලන්න.. එනවා ද ? “
“ මොකක්.. හොල්මන් මන්දිරයක්.. අපෝ.. මේ කළුවර වැටීගෙන එන වෙලාවේ..  “
“ ඔව්.. “
“ අනේ මට බෑ.. මන් මේ දැන් ටිකකට කලිනුත් හොල්මනක් මිට් වෙලා එන ගමන්.. “
තවමත් මැකී නොගිය හිනාවත් එක්ක මන්දරා විහිළුවෙන් උත්තර දුන්නා.
“ හානේ.. ඇත්ත ද.. අන්කල් හොලමනක් ද කඩවසම් හොල්මනක් ද ? “
“කඩවසම් හොල්මනක් පෙනුමෙන් නම්.. කතා කරපුවා නම් ඇත්තටම වටේම තියෙන කඩවල් ටිකත් වහනවා.. “ ඈතට ඇවිදගෙන යන ගමන් මන්දරා උත්තර දුන්නා.. සෑහෙන වෙලාවක් හිතුමතේ වටේට ඇවිදලා ආයෙත් එද්දී ඔහු තවමත් එතැන. මේ පාර නම් කියක් ඇවිල්ලා වතුරට පැන්නත් හැරිලාවත් බලන්නේ නැහැ කියලා ද කොහෙද ඔලුව නවාගෙනම කුරුටු ගානවා. නාදුනන පැත්තක හිටින නිසාවෙන් නිදහස උපරිමයෙන් භුක්ති විද විද හිටපු මන්දරාට හිතුනේම ගිහින් අදින පැන්සල් පාර වල් වලට උඩින් එබිලා බලන්න. ඉතින් අකීකරු හිතත් එක්ක මන්දරා ඔහුට පිටිපස්සේ තිබුන මල් ගස් අස්සෙන් ගිහින් ටිකක් පිටිපස්සෙන් ඉදන් ඔලුවට උඩින් එබිලා බැලුවා. කදු අස්සෙන් ගොම්මන් කළුවරේ අවරට යන හිරු, බෝට්ටු ගෙදර.. ජල තලය ඒ හැම දෙයක් එහෙ මෙහෙ ගිය පැන්සල් ඉරි කටු සටහන් ගහලා. වස නපුරු මුණට මේ තරම් හොදට චිත්‍ර අදින්න පුළුවන් කියලා කවුද හිතුවේ.  කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා කියලා දැනිලා ද කොහෙද ඔහු අදින එක නතර කරා. ඊලග මොහොතේ ඔලුව හරවලා බැලුවේ මන්දරා දිහා.
“ ලස්සනයි. ඒකයි බැලුවේ.. “
පුදුමයෙන් වගේ නිහඩව මොහොතක් බලන් උන්නු ඔහු ඊලග මොහොතේ සිනා වුනා. වස නපුරු මුණාට ලස්සනට හිනා වෙන්නත් පුළුවන් ඒ කියන්නේ.
“  තැනක් යු.. මොකද පැනලා මැරෙන්න තැනක් හම්බවූනේ නැද්ද ? “
“ නෑ අෆ්ෆා.. අද මැරෙන්න බෑ වගේ.. කාලගුණේ හරි මදි.. ඒක නෙවෙයි ඔයා ඇයි ඕවා අදින්නේ.. “
“ ආසාවට මිසක් වෙන මොකට ද ? “
“ ආසාවට කරන්නේ චිත්‍ර අදින එක විතර ද ? “
“ අපෝ නැහැ.. තව සැහෙන දේවල් තියෙනවා..  හරියට මැරෙන්න යන මිනිස්සුගෙන් ලේක් එක බේරාගන්නවා වගේ.. “
“ ඔව්. අපි පැන්නාම ග්‍රෙගරි ලේක් එකට සෑහෙන්න රිදේවි නේ බරට.. “
“ ඒකනේ.. ලේක් එක පව්නේ.. ඔයා අහපු ප්‍රශ්නේට ඇත්ත උත්තරේ..  චිත්‍ර අදින්නේ හොටෙල් එකට.. “
“ හොටෙල් එකට ? හොටෙල් එකට මොකට ද චිත්‍ර ? “
“ ලස්සනට එල්ලන්න ළමයෝ.. වෙන මොකට ද.. මන් ලස්සන තැන් ටිකක් ඇදලා එයාලට ගිහින් දෙනවා.  එයාල මට ඒවාට සල්ලි දෙනවා.. “ “ හ්ම්ම්ම් හ්ම්ම්.. තේරුණා.. ඔයාට ලස්සනට අදින්න පුළුවන්.. “
“ වෙන්න ඇති. ඒක නෙවේ ඔයා මොකද මේ තනියම කරන්නේ.. “
“ නැහැ තනියම නෙවෙයි. අපි යාළුවො ටික ට්‍රිප් එකක් ආවා.. කට්ටිය ඇවිදිනවා.. මමත් ඉතින් තනියම රවුමක් ආවා.. “
“ ආආඅ.. ඒත් මේ රෑ වෙච්ච වෙලාවේ තනියම ඔහොම යන එක හරි ද ? “

“ ඇයි බිල්ලෝ අල්ලන් යනවා ද ? “
මන්දරා ආයෙත් ඔහුව විහිලුවට ගත්තා. මේ පාර නම් ඔහු මොකුත් කිව්වේ නැහැ.. හිනා වුනා මිසක්.. අෆ්ෆේ හිත ඇදිලා යන හිනාවක්.. මන්දරාට හිතුනේ එහෙම.
“ මන් යනවා.. යාළුවො බලන් ඇති ආපහු හොටෙල් එකට යන්නත් ඕනි නේ. .බායි.. “
“ හ්ම්ම්ම් .. සී යු.. “
නැවත හමු නොවන නමක් නොදන්නා ආගන්තුකයා එහෙම සමුදෙද්දී මන්දරා හිනා වෙලා එතනින් ආවා.. ආපහු හැරිලා බලන්න නොහිතුනා නෙවෙයි. ඒත් ඔහු බලන් උන්නොත් වස ලැජ්ජාව. ඒ නිසා ඇය බැලුවේ නැහැ..  ඒ වෙද්දීත් හැම පැත්තෙන්ම කළුවර ඇවිදින්.. ග්‍රෙගරි වැව වටේටම පහන් එලි දල්වලා.. ඒ එළියෙන් උද්‍යානයෙන් එළියට ඇවිදින් දොරටුව ගාව කට්ටිය එනකම් ඉද්දි මන්දරාට දුරකථනයට ඇමතුමක්..
“ ඒයි චුටි නංගි.. “
ඒ මන්දරාගේ අයියා..
“ ආ.. “
“ කොහොමද ට්‍රිප් එක හොදද ? “
“ මරු.. “
“ ආඅ.. හිතට අල්ලලා වගේ නුවරඑළිය.. “
“ අනිවා.. “
“ උඹ එන්නේ කවදාද ? “
“ හෙට එනවා බන්.. නුවරඑළියේ හිත තියලා මන් හෙට කොළඹ එනවා.. “
“ මොන එහෙකට ද උඹ හිත ඔහේ තියලා එන්නේ.. ඇයි උස්සන් එන්න බර වැඩි වගේ ද ? “
“ ඔව් බන්.. සෑහෙන්න බර වැඩි.. හිත කියන්නෙම මෙහෙ දාලා යන්න බැහැ කියලා.. ඉතින් හිත තියලා එන්න වෙනවා.. “
“ ආආආ මොකක් ද බන් ඒ සීන් එක.. ඇයි උඹ ඔහේ කාට හරි හිත ලියලා දුන්නවත් ද ?  “
“ ඇවිත් කියන්නම්කෝ.. “
“ හෑ මොකක් ? අම්මපා..  ඒකත් එහෙමද එතකොට.. හාකෝ හාකෝ.. “
මන්දරා හිනා වේවිම දුරකථනය විසන්ධි කරා. පිළිතුරු වලින් බාගෙට බාගයක් ම අයියාව අවුස්සන්න කල විහිළු වුනත් ඒවායේ ඇත්තකුත් නැතුවා නෙවෙයි කියලා මන්දරා ට හිතුනා.. ඒ අර වස නපුරු මුණා හින්දාවත් ද ?
මන්දරා තනියම කළුවර ට හිනා වුනා. කෙටි හමුවීම් වලට කොයිතරම් නම් දේවල් කරන්න පුළුවන්ද ? නමක් ගමක් කාගේ කවුරු ද කියලා නොදන්නා මිනිස්සු එක්ක හිත ගනුදෙනු කරන්නේ ම නොසැලකිමත් ව. මන්දරාට එහෙමත් හිතුනා. ඒත් ඉතින් ඒ කෙටි හමුවීම ඇතුලේ තියෙන මතකය අමතක නොවෙන මිහිරි සොදුරු මතකයක්නේ මන්දරා.. හිතත් මන්දරාට එහෙම කෙදිරුවා. ආයෙත් දවසක කොහෙදි හරි හම්බ වේවි නේ.. මන්දරා කළුවරට මිමිණුවේ හෙමිහිට හිනාවෙමින්.

අරුණි කළුපහන




 •  0 comments  •  flag
Share on Twitter
Published on April 19, 2017 08:19

April 16, 2017

රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 8

යශෝදරා අක්කා පත්තරේ වැඩට ගියා ම ආයේ එද්දී සමහර දාස් වලට සැහෙන්න රෑ වෙනවා. සමහර වෙලාවට මාග්‍රට් නැන්දා නම්
“ මොකද නෝනේ පරක්කු “
 කියලා අහද්දී කියන්නේ
“ හදිසි නිව්ස් එකක් තිබ්බා මාග්‍රට් නැන්දේ..  “            
කියල. සුභද්‍රා නෝනා ඇහුවොත් කියන්නේ
“ රස්සාවේ හැටිනේ ඇන්ටි.. වෙලාවක් කලාවක් කියලා නැහැ “ කියලා.. මන් ඇහුවොත් නම්
“ වැඩ වැඩ, ඉතින් ඉවරයක් නැතිව වැඩ සින්ඩි.. මටත් තේරෙන්නේ නැහැ.. “
කියලා කියනවා. ඇත්තටම යශෝදරා අක්කා මෙච්චර පරක්කු වෙන්නේ ඇයි ද මන්දා.. ඕක ගැන කියන්න ගියාම ශාස්ත්‍රී නම් කිව්වේ හැම දෙයක්ම ගැන ඕනාවට වැඩිය හොයන්න පුරුදු වෙන්න එපා සින්ඩි කියලා. ඒත් මාග්‍රට් නැන්දාත් එහෙනම් හොයන්නේ කිව්වම ශාස්ත්‍රී කියන්නේ පින් සිද්ධ වෙයි මාග්‍රට් නැන්දා වගේ නම් හැදෙන්න තියා හිතන්නවත් එපා කියලා. මාග්‍රට් නැන්දා වගේ වෙන්න එපා කියන්නේ ඇයි ඇහුවේ එතකොට ශාස්ත්‍රී කිව්වේ ප්‍රශ්න පත්තරයක් වෙන්නත් එපා සින්ඩි කියලා..  එහෙම හොද නෑලු..
අනේ මන්දා..
හැමෝම වැඩිපුරම එපා කියලා. තමයි කියන්නේ.. සින්ඩි අරක එපා සින්ඩි මේක එපා.. සින්ඩි දුවන්න එපා.. හෙමින් ඇවිදින්න පුරුදු වෙන්න.. සින්ඩි අරහෙම කියන්න එපා.. මෙහෙම කියන්න එපා.. සින්ඩි කම්මැලි වෙන්න එපා.. සින්ඩි ඕනාවට වඩා හිතන්න එපා සින්ඩි කියලා.. ඇයි හිතන්න එපා කියලා අහද්දී කිව්වේ ප්‍රශ්න පත්තරයක් වෙන එක ගෑනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ සින්ඩි.. ඒ හින්දා එපා කියලා.  එපා එපා එපා.. ඔක්කොම එපා තමා.. හැමෝම හැම එකම එපා කියද්දී එපා වෙනවා අප්පා..
මේ ලෝකේ ඉන්න හැමෝම හැම දේටම එපා කියන අය ද මන්දා..
ඒත් මෙයලා මේ කියන හැම එකම කරන්න ගියොත් මට වෙන්නේ කම්මැලිකම ඉහවහා ගිහින් මැරිලා යන්න.. මේක මහා මෙලෝ රහක් නැති ජිවිතයක් අප්පා.. කිසි වැඩක් කරන්න නැහැ..  දණහිස ගාවට දික් වෙච්ච අත් බෝරිච්චි කරපු පිටි පස්සෙන් පටි ගැට ගහන ගවුමකුත් ඇදගෙන ඔක්කොටම වඩා මම නිකම් මොන්ටිසෝරි යන බබෙක් ගානට වැටිලා.. ශාස්ත්‍රී ට නම් එහෙම නැහැ.. එයා කොටට කොටේ කලිසම් කෑල්ලකුත් ගහගෙන අතුත් නැති ටිෂර්ට් එකකුයි ඇදගෙන තමයි එහෙ මෙහෙ යන්නේත්.. ඒත් මන් එපැයි රවුම් කොලර් තියෙන ගවුම් ඇදගෙන පියරු බබා වගේ ඉන්න.. වෙලාවට මාග්‍රට් නැන්දා පියරු ටික විතරයි දාන්න කියන්නේ නැත්තේ.. හැබැයි එක අතකින් ලැයිමේ ඉද්දි අදින බාච්චූ ගවුම් වලටයි දිග සාය කෑලි වලටයි වැඩිය මේ ඇදුම් හොදයි.
ඇදුම් නම් කමක් නැහැ කියමුකෝ.. හච හච ගාලා කියවන ඉංගිරිසි ඉගෙන ගන්න එකයි මැහුම් ගෙතුම් ඉගෙන ගන්න එකයි තමයි ඔක්කොටම වැඩිය හපන්. ඊට වැඩිය මන් කැමති මටත් කුස්සි මුල්ලට ගිහින් උයන්න ඉගෙන ගන්න තිබ්බා නම්.. එහෙම නැතිනම් මිදුලේ කෙරවලේ දණ ගහගෙන  බාබන්ඩේසියා ගස් අස්සේ වැවිච්ච වල් තණකොළ ගස් ගලවන්න තිබ්බා නම්.. එතකොට පේර ගහ උඩටම නැගලා පේර කන ගමන් කෑ ගහලා සින්දුවක් කියන්න පුළුවන් නම්.. තව මල් වලට වතුර දාන බටේ අරන් අහසට වතුරු විදින්න තිබ්බා නම් .. එතකොට මල් වැස්සක වගේම මාවත් තෙමේවි.
මේ ඇත්ත විස්තර ඔක්කොම පාති දැනගත්තා නම් මෙහෙම කෑ ගහාවී..
“ ඕනාක්කු පයිත්තියමා පුල්ලේ ? උඹ දන්නවා ද ශපට ඉන්ටත් පින තියෙන්ට ඕනි.. “
කියලා. හැබැයි එහෙම නැත්තම් ඉතින් උඹට පිස්සු ද ළමයා කියලා සිංහලෙන් ම කියලා කණෙන් ඇදගෙන කාසි වත්තට අරන් යන්න ත් ඉඩ තියේ. අනේ මන්දා. එක අතකින් පාති මම කොහෙද කියලා දන්නේ නැති එකමයි හොද..
යශෝදරා අක්කා අද ගෙදර එන්නේ නැති ද මන්දා.. එයා නැති වුනාමත් හෙන පාලුයි.. පාඩම් වැඩ ගොඩකුත් තියෙනෝ අහගන්න. ඊටත් වැඩිය මන් කැමති එයා කියන කතන්දර අහන්න.. හැබැයි යශෝදරා අක්කා නම් කියන්නේ එයාගේ කතන්දර වලට වැඩිය මගේ කතන්දර ලස්සනයි කියලා..
මගේ මොන කතන්දරද අප්පා.. ලැයිමේ වුන්නේ ගේනු මිනිසුන්ගේ කතා ටික කියනවා මිසක්.  හැබැයි මම දවසක් යශෝදරා අක්කට අපේ කාසි වත්තේ විස්තර කියද්දී එයයි කිව්වා කාසි වත්ත පැත්තේ එයාගේ යාලු මහත්තයෙක් ඉන්නෝ කියලා එයා ලව්වා මයේ අම්මා ගැන අපේ පාති ගැන විස්තර හොයා දෙන්නම් කියලා. හැබැයි ඊට පස්සේ නම් යශෝදරා අක්කා ඒ ගැන විස්තර කිව්වෙත් නැහැ. මන් ඇහුවේත් නැහැ. දැන් නම් අහලා බලන්ටත් හිතයි.
ලෙච්චමී සිරිනිවාසන් මයේ අම්මා කවදාවත් ලෙච්චමී ඇන්ඩර්සන් වුනේ නැතිවට මුළු කාසි වත්තේම ගේනු මිනිස්සු මයේ අම්මා ලෙච්චමී කියලා නමින් දන්නවාටත් වැඩිය දැනන් උන්නේ බංගලාවේ සුදු මහත්තයා හින්දා බඩ වෙච්ච ගෑනි කියලාලු. මට එහෙම කිව්වේ දළු නෙලන්න වත්තට එන කමලක්කා.. එයාට හැමෝම කමලක්කා කිව්වාට මොකෝ උන්දා අපේ පාතිලාගේ වයසටත් කිට්ටුයි. අපෝ මහා වාචාල ගෑනි.. එයයීගේ කට ඇරියොත් ඉතින් රෙදි අපුල්ලන මැසිමකටත් හපන්.. කියන්නේම මහා කුඩුකේඩු කතා.
මන් හිතන්නේ අපේ අම්මා එක්ක තියෙන ඉරිසියාවට තමයි උන්දා ඔහොම කියනවා ඇත්තේ.. නැතිව මයේ අම්මාගේ නම කවුරුත් නොදන්නේ කොහොමැයි. ඉස්සර මයේ අම්මා ස්කොලේ ලොකුම පන්තියේත් ඉගෙන ගෙන ඉවර වෙලා ස්කොලේ ළමයින්ට ටීචර් කෙනෙක් වගේ ඉගෙන්නුවාලු. ඒ ඉද්දි තමයි ලු මයේ අප්පා වත්තේ බංගලාවේ පදිංචිට ආවේ.. ඊට පස්සේ ලු හැම දේම වෙනස් වුනේ කියලායි අපේ පාති නම් මට කිව්වේ. ඒක නම් හැබෑව වෙන්ට ඕනි. මයේ අම්මාගේ ලස්සනටයි  ඉගෙනීමටයි ඔක්කොටමත් වඩා මයේ අප්පාගේ ආස්සරේ හින්ද වත්තේ ගේනු මයේ අම්මට ඉරිසියා කරා වෙන්ට ඇතියි කියලමයි මට හිතෙන්නේ. මොකද ඔය එකක්වත් වත්තේ ගේනුන්ට නෑනේ..
අර යශෝදරා අක්කා කියනෝ වගේ ගේනු තරම් ගේනුන්ට ඉරිසියා කරනවා ජාතියක් තව කොහොවත් නැති ලු. තමන් ආස කරන දේවල් අනිත් කෙනාට ලැබෙනවා නම් ගේනු ඉරිසියා මැරෙන්න යනවා ලු.  ඒ ඉතින් ලබා උපන් හැටි ලු.
එහෙම හිතද්දී මට මෙහෙමත් හිතෙනෝ..  වික්ටෝරියා ප්ලේස් එකේ ඉන්නෙත් ගේනුම නේ.. එහෙනම් මාග්‍රට් නැන්දාගෙන් පටන් ගත්තාම කට්ටිය එක එක්කෙනාට කොහොම ඉරිසියා කර ගන්නවා ඇත් ද හැබෑට..  ඒකත් ජාතියට ඇති අප්පා..



 •  0 comments  •  flag
Share on Twitter
Published on April 16, 2017 21:35

March 12, 2017

කවිය ඔබ


කවිය ඔබ
ලියා නොලියා
අවසන් කල
කවිය ඔබ

කවි තනන්නට
අකුරු දී
ඒ අකුරින්ම
සිත රිදවා ගත්
පෙම්බර කවිය ඔබ

රිදෙන විට
හඩන්නට
හඩන විට
රිදවන්නට
කවි පද ලෙසින්
අවි ගෙන ආ
කවිය ඔබ

සියක් කැළැල් තුල
නිකැළැල්ව හිද
සිත් අදුරු කල
ආත්මයක් ගැන
ලියන්නට කියා
සිත විනාස කල
දඩබ්බර කවිය ඔබ

මා ඔබට ලියු කවිය
ඇයට හිමි කර දෙන්නට
කවි පේලියක් උදුරා
තව හිතක ඇලවූ
නමක් දිය නොහැකි
අසම්පුර්ණ කවිය ඔබ !

- අරුණි කළුපහන

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 12, 2017 05:15

ඉරබටු මනමාල තරුව


නෙක තාරකාවන් මැද්දේ
ලය ඉරා දුන් තරුවක් වේ නම්
ඉරබටු මනමාල තරුව මිස
වෙන කවුරුන් ද

මදු මිවතට දුම් වලා පුරවන
කවි නිමිති වූ හිතක් එක්ක
සද එලිය යට දොඩමලු වන  
රාත්‍රීන් දැක්කේ ඉරබටුව මිස
වෙන කවුරුන් ද

නොහික්මුණු රළු හිතක් කියූ   ආදරයේ ඒ මතක පද
සිත කොනිත්තන විට තවම
කවි අකුරු ගෙන අදුරේ රැදෙන්නට
කියා දුන්නේ ඉරබටුව මිස
වෙන කවුරුන්ද

රාත්‍රිය පවා උදුරා ගෙන
සදට කවි කියන්නට හුරු කර
හිතට හොරෙන් හිතත් රැගෙන
නික්මුණ ඒ නොසන්ඩාල කවිය
යලි එනතුරු නිදිවරා හිදින්න

යැයි මට කියන්නේ ද
ඒ ඉරබටු මනමාල තරුවම මිස
වෙන කවුරුන් ද





 •  0 comments  •  flag
Share on Twitter
Published on March 12, 2017 05:13

March 9, 2017

මතක මල් පෙති


සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි
කැම්පස් එකේ අරලියා මල් වැටුණු තාර පාර දිගේ ඩෙනිම් සාක්කු වලට අත් ඔබාගෙන ඔහේ ඇවිදගෙන යන ගමන් අනුරාධ හෙමිහිට මිමිනුවා. තවත් ජයසිරි අමරසේකර කෙනෙක්. මට හිතුනේ එහෙම. පාර අයිනේ සීමාව ලකුණු කරලා තියෙන ගල් වැටිය උඩ පියවර පිට පියවර තියෙන ගමන් මන් ඇහුම්කන් දුන්නේ ආසාවෙන්.. අනුරාධගේ කට හඩ තමයි මන් මේ ලෝකේ වැඩියෙන්ම ආස කරපු කට හඬ.. හොදම ගායකයෝ සියක් වුන්නත් මම පිස්සුවෙන් වගේ අනුරාධගේ කට හඬම තෝරා ගනීවී. ඒ තරම් ඒ කට හඩේ අමුතු වශියක් තිබුනා. සේපාලිකා මලයි මන් ආසම කරපු සින්දුවක්.. මන් කැමතිම සින්දුවයි අනුරාධගේ කට හඩයි. වෙන මොනවා ද ඉතින්.. මට හිතුනේ එහෙම.
මන්දාරමෙන් එහා දෙව් දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා
ඒ හරිය කියද්දී නම් මට මහා අමුත්තක් දැනුනා.. ඊලග පද පේලිය කියන්නේ නැතිව අනුරාධ මොහොතක විරාමයක් අරන් හිමිහිට පියවර මැන්නේ නිහඩව.
" ඇයි අනුරාධ.. "
මම ඇහුවේ පුදුමෙන් නම් නෙවෙයි. ඒත් සැකෙන්..
" මොකුත් නෑ.. "
අනුරාධ සිනාසෙන්න වෙර දැරුවේ අසීරුවට කියලා මට තේරුණා. ඒත් මම නොතේරුණා වගේ උන්නේ හිතලමයි. වෙන මොනවා කරන්න ද ?
" මොකුත් නැත්තම් අනිත් ටිකත් කියන්න.. මන් ආසයි අහන්න.. "

මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා..

“ ඇත්තටම මං නිසා  ද ? “
මම හයියෙන් හිනා වේවී විහිලුවට ඇහුවේ ඒත් ඔබ නිසා කියලා අනුරාධ කිව්වේ මගේ මුණ දිහාවේ බලාගෙන නිසා.
“ ඔව්.. ඔයා නිසා.. “
ඔහු කිව්වේ තාමත් අර හිනාවක් නැති මුනෙන්මයි. මන් ඒකටත් කරේ හොදටම හිනා වෙන එක. එතැන හිනා වෙන්න තරම් හේතුවක් නැහැ කියල මම නොදන්නවා නෙවේ..
“ ඔයා කොහොමද ඔහොම හිනා වෙන්නේ සාරදා.. “
“ ඇයි ඒ එහෙම ඇහුවේ.. “
“ වෙඩින් එකට දවස් කියද ? ඔයාට ඔහොම හිනා වෙන්න පුළුවන් ද ? “

මන් දන්නවා අනුරාධට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක කියලා.. ඒත් ? අනේ මන්දා.. හිනා නොවී අඩන්න ද ?
“  වෙඩින් එකට තව දවස් දෙකක්ම තියෙනවානේ අනුරාධ.. ඉතුරු ටිකත් කියන්නකෝ.. වෙන කතන්දර වැඩක් නැහැ. “
ගල් වැටිය උඩින් බැහැලා මන් අරලිය ගහ යට වැටිච්ච අරලිය මල් එකතු කරන් පටන් ගත්තේ විසිරිච්ච හිතක් එක් තැන් කරන්න වෙර දරනවා වගේ කියලයි මම ගැන මටම හිතුනේ.

සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි....
මල් පිපෙන තුරු ලතා... මද සුළගේ නැවතුනා... සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා...
ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා...

ඒ ගැඹුරු ආදරය පිරුණු හඬින් වේදනාවත් එකතු කරලා සින්දුව කියලා ඉවර වෙද්දී මම තාමත් බිම බලාගෙන අරලියා මල් එකතු කරනවා. සින්දුව කියන්න මහා හුගක් වෙලා ගියාට මන් අරලිය මන් දහයක්වත් එකතු කරලා තිබුනේ නැහැ.
ගහ මුල බිමට නැමී නැමී අරලිය මල් අහුලද්දී මගේ ඇස් වලින් සට සට ගාලා කදුළු කැට තණකොළ බිස්ස මතට වැටුනේ දුකට ද අසරණ කමට ද මට තේරෙන්නේ නැහැ.. ඒ කඳුළු අනුරාධ දැක්ක ද මං දන්නෙත් නැහැ. මන් දන්නේ මෙච්චරයි.  අනුරාධ ඒ සින්දුව මේ වෙලේ කිව්වේ මට කියලා වගේම සැබෑවටම එයා මට ආදරේ කරා කියලා විතරයි. ඇත්තටම මම දන්නේ එච්චරයි.
මම ගවුම් කරෙන් හෙමිහිට ඇස් පිහදගෙන බැලුවේ අනුරාධ දිහාවේ. අනුරාධ මට පිටුපාලා කැම්පස් එකේ ඈත අනන්තය දිහාවේ බලන් උන්නා. අනුරාධටත් නොදැනෙන්න මම එතනින් දුවලා ආවේ තවත් ඇඩෙයි කියන බයට.
නාරද බදින්න වෙන්නේ වෙන කරන්න දෙයක් නැති කමට කියලා මම වගේම අනුරාධත් හොදටෝම දැනගෙන හිටියා. හැබැයි එහෙමයි කියලා අනුරාධ මට ආදරේ කරනවා වගේම මමත් අනුරාධට ආදරේ කරනවා කියලා බොරු බලාපොරොත්තුවක් අනුරාධට දෙන්න මට ඕනි වුනේ නැහැ. මගේ ජිවිතේ මෙතනින් ඉවර වුනාට තවත් කෙනෙක්ට විදවන්න ඉඩ තියන්නේ කොහොමද මන්..
කැම්පස් එක ඉස්සරහින් ත්‍රිවිල් එකට නැග ගත්තු මං කිරුළපන දිහාවට යද්දී ගම්සභා හන්දියේ දී ආව පණිවිඩය අනුරාධගෙන්.
“මල් පිපෙන තුරු ලතා...මද සුළගේ නැවතුනා...සිත දකින දකින සිහිනෙදි ඔබමට මතක් උනා...
ඇසි පිය හෙලන්න මොහොතක්වත්මතක නැති වුනා... “
ඒ අනුරාධ.. සින්දුව එහෙම අකුරු කරලා එවල තිබුනේ අනුරාධ ම තමයි.
“ සින්දුව කිව්වා මදි කියලා හිත කියන නිසා ද අනුරාධ ලියලා එවන්න හිතුවේ “
සිනා යන මුඩ් එකකුත් එකතු කරලා මම එහෙම උත්තර යැව්වා..

“ ඔයාට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ වගේම තමයි මට මේ සින්දුව කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.. කඳුළු තියෙන්නේ අඩන්න තමයි සාරදා.. හැබැයි දැන දැනම පැරදිලා අඩන්න නෙවෙයි. අමාරුවෙන් හරි දිනලා සතුටට අඩන්න.. “
අනුරාධ එහෙම එවලා තිබුනත් මම මොකුත් පිළිතුරක් නොයවා හිටියේ හිතලමයි. ඒ වෙනුවට ෆේස්බුක් ලොග් වෙලා මම කරේ ස්ටේටස් එකක් දාපු එක.
ඒ ජයසිරි අමරසේකර කියන ඔර්ජිනල් සින්දුව යු ටියුබ් එකෙන් හොයලා
මන්දාරමෙන් එහාදෙව් දුවක් ඇති බලාමට යන්න දෙන්න සියුමැලියේසුවඳ සොය සොයා <3
කියලා ටයිප් කරලා පෝස්ට් කරේ මගේ හිත නිදහස් කරගන්න ඕනි නිසාමයි. අනුරාධ එකට ලයික් කරලා තිබුනත් හැබැයි මොකුත්ම කියලා නම් තිබුනේ නැහැ.
“ කවදාහරි උඹලා ජිවිතේ ඇන ගන්නේ මුණට කියන්න ඕනි දේවල් පේන්න විතරක් ෆේස්බුක් එකේ කොටන්න ගිහින් තමා. ඕවා කතා කරල විසදගත්තා නම් කොයිතරම් දෙයක් ද කියලා උබලට තේරෙයි දවසක.. “
ප්‍රියංවදා දවසක් අනුරාධයි මමයි දෙන්නම ඉන්න තැනක හින්ට් එකට වගේ කියාගෙන ගියෙත් අපි දෙන්නට. හැබැයි ඒ වෙලෙත් අපි දෙන්නම ගොළුවෝ බිරෝ වගේ සද්ද නැතිව වුන්නා. හරියට අපිට නෙවේ කිව්වේ වගේ.  
ආදරේ කියන්නේ කටින් කියලා අයිති කරගන්නම ඕනි දෙයක් යෑ.. ඕක හිතේ තිබ්බා කියලා හෙන ගහනවා යෑ..
මට එදා හිතුනේ එහෙම. හැබැයි ඒ හිතෙන දේවල් ඒ දවස් වල වුනත් මම වචනයෙන් නම් කියන්න ගියේ නැහැ.
“ උඹට පිස්සු ද ගෑනියේ.. “
එකපාර මැසේජ්ර් එකට ආව පණිවිඩය නාරදගෙන්.
“ ඇයි “
මම රිපල්යි කරේ පුදුමයෙන්.

“ දවස් දෙකකින් කසාද බදින්න ඉන්න ගෑනියෙක් වෙලා නහින් අඩන සින්දු ෂෙයාර් කරන්නේ මගුල ට ද ? මිනිස්සු මොනවා නොකියයි ද “
නාරද ගේ භාෂාව එහෙමයි. පුදුම වෙන්න දෙයකුත් නැහැ එකේ.
“ මම ගෑනියෙක් නෙවෙයි නාරද.. මම කෙල්ලෙක්.. වැදගත් විදියට කතා කරන්න. රටේ ලෝකේ මිනිසුන්ට ඔයාට වගේ පිස්සු නැහැ.. විකාර හිතන්න  “
මම එහෙම කියලා ඕෆ්ලයින් ආවා. ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දි මම මගේ හිතටම මෙහෙම කිව්වේ ඈතින් කළු කරගෙන එන වැහි වලාකුළු දිහාවේ බලාගෙන.
“ ෆේස්බුක් ස්ටේටස් එකටත් නීති රීති දාන මිනිහෙක්. උඹගේ ජිවිතේ හරි අපුරුවටම තියෙයි සාරදා.. තව දවස් දෙකකින් බැඳලා ම බලමුකෝ ඒකෙත් හැටි.. “

-          අරුණි කළුපහන





 •  0 comments  •  flag
Share on Twitter
Published on March 09, 2017 12:46

March 1, 2017

රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 7

අනුරාධ මහත්තයා ඇවිල්ලා ගියායින් පස්සේ තමා ඕo අනුරාධ මහත්තයාගේ ගුණ දොස් විචාරය කරන්න මාග්‍රට් නැන්දා හරියටම පටන් ගත්තේ..
" අනේ මං දන්නේ නෑ නෝනේ.. ඒ හැටි ඉලන්දාරියෙක් අපේ එක්ක සින්ඩි නෝනේ ව ගැටෙන්න තියෙන එක හරියාවි ද කියලා.. "
මාග්‍රට් නැන්දා එහෙම කිව්වේ යශෝදරා අක්කාට..
" මොනවා ගැටෙන්න කියල ද මාග්‍රට් නැන්දේ..  අනුරාධ මෙහේ එන්නේ සින්ඩි ඉගෙනිම ගැන බලන්න නේ.. ඉලන්දාරියෙක් වුණත් ගුරුවරයෙක් වුනාම කොහොමත් තම තමන්ගේ සිමාවන් දන්නවානේ.. අනික ඉතින් අනුරාධ එහෙම නරක කෙනෙක් නෙවේ කියල මිසිස් තේනුවරත් සහතික වුනානේ... "
යශෝදරා අක්ක එහෙම කිව්වේ වැඩි ගානක් නැතිව..
" ඒ මක්ක උනත් ගින්දරයි පුළුනුයි එකට පෑහෙන්න තියන්න ඕනිම නෑ කියලා අපේ අත්තලා මුත්තලා කිව්වේත් කට කහනවට නෙවේනේ නෝනේ.. කාට කාටත් ඕවා තේරෙන්න ඉතින් දෙයක් වෙන්නම ඕනි..  "
මාග්‍රට් නැන්දා ඒක කිව්ව සැරට කුස්සියේ මුල්ලේ හිටපු තඩි පුසිවත් ආයේ ඉතින් මීක් කිව්වේ නෑ..
වික්ටෝරියා ප්ලේස් එකේ ඉරිදා දවසට හැමෝටම නිවාඩු හන්දා දවල් වෙද්දි කට්ටිය සෙට් වෙන්නේ කුස්සි මුල්ලට එහෙම නැතිනම් සුභද්‍රා නෝනාගේ ටයිප් එකට කිව්වොත් ඉතින් කිචන් එකට තමයි..
ඉරිදා උදේම පාන්දර පහට විතර ඉදන් චර්ච් යන්න කලබලේ පටන් ගන්නේ සුභද්‍රා නෝනයි මාග්‍රට් නැන්දයි. යශෝදරා අක්කා නම් බුද්දාගමේ හින්දා එයා නම් හොදටෝම දවල් වෙනකම් නිදා ගන්නෝ..
මයේ ආගම ගැන නම් ඉතින් එකක් ය කියල නෑ නොවෑ.. අපේ පාතී ගියේ කෝවිල්.. මයේ අම්මා නම් කෝවිලුත් ගියා පල්ලිත් ගියා.. පල්ලි කියන්නේත් ඉතින් ඔය සුභද්‍රා නෝනේ ඔය කියන චර්ච් එකටම තමයි.
මයේ අප්පා පල්ලි යන කෙනෙක් හින්දාලු මයේ අම්මත් පල්ලි යන්න හිතුවේ..
ඒත් අපේ පාතී නම් ඒ දවස් වල ඒකට ඒ හැටි මනාපයක් පෙන්නුවේ නැහැ.. උන්දා කිව්වේ ම " ඔව්වා මල සමයං " කියලමයි.
පාති කියන විදියට නම් " දාලා ගිය වාහේ වෙනුවෙන් ඔය හැටි නැහෙන්නත් ඕනි නෑලු.. "
අනේ මන්දා පාති මයේ අප්පාට වෙලාවකට කැමතියි. වෙලාවකට අකැමතියි..
මන් දවසක් ඒ ගැන පාතිගෙන් ඇහුවත් එක්ක ඒත් පාතී දුන්නේ මටත් ඒ හැටි තේරුම් ගන්නම බැරි විදියේ අප්‍රබන්ස උත්තරයක්.
" ගෑනියෙක් බඩ දරු කරලා මග හැරලා යන මිනිහෙක් කවදාවත් මහත්තයෙක් වෙන්නේ නෑ මයේ අම්මා.. උන්නැහේ උඹලාගේ අම්මට කරපු ඒ හදිය මතක් වෙද්දි මයේ ඇගේ මාළු නටනවා..ඒත් ඉතින් බoගලාවේ මහත්තයා මොන දේ කරත්  හරි ගුණ යහපත් මනුස්සයා.. ඒත් උන්දෑ උඹව බලන්නවත් ආයේ නාව එකයි අරුමේ.. මිනිහෙක්ට මොන දේ නැතත් දරුවෙක්ගේ මූණ නොබලා ඉන්න පුලුවනෑ.. "
පාතී අන්තීම ටික නන් කිව්වේ සෑහෙන්න හෙමිට.. කදු වලල්ලෙන් එහා ඈත අහස කොන දිහාවේ බලාගෙන ලොකු හුස්මක් බිමට අත හරින ගමන්.. මාත් ඒ වෙලාවේ පාතිගෙන් මොකුත් නාහ උන්නේ උන්දෑ ට දුක හිතුනෝතින් කියලා.
අනේ මන්දා.. අප්පා ඇයි කවදාවත් නාවේ.. බංගලාවත් ඔහේ වහලා දාලා ලු. එතකොට ඒ බංගලාවේ අයිතිකාර මහත්තයා මගේ අප්පා ද.. මයේ අම්මා කවදාවත් ඒ බංගලාව ගැන කතා කරේ නෑ.. මං ඇහුවෙත් නැහැ.. පුංචිම දවස් වල රෑ ට හීනෙන් එහෙම අප්පා ඇවිදින් මාව අතින් අල්ලාගෙන වත්ත අයිනෙන් උඩහට වැටුණු පාර දිගේ එක්කන් යනවා බංගලාව පෙන්නන්න. ඒත් කවදාවත් ඒ හීන වලදිවත් බංගලාව ලගට යන්න හම්බුනේ නැහැ. ඇයි ඉතින් බංගලාවේ ගේට්ටුව ගාව දී හැමදාම හීනෙන් ඇහැරුණානේ.
ඒ කොහොමත් අප්පා දවසක ඇත්තටම ඒවි මාව බලලා යන්න. මයේ හිත කිව්වෙම එහෙම. අනේ මන්දා. ඒත් ඉතින් උන්දැ ආවත් මම දැන් එහෙ නෑ නොවෑ.. එහෙම හිතද්දී නම් දුකයි තමා.. ඒත් ආයේ කාසිවත්තට යන්න අදහසක් නම් මයේ තුන් හිතකවත් නෑ.. “ සින්ඩි “යශෝදරා අක්කා එහෙම අහද්දී තමයි මට තේරුනේ මෙච්චර වෙලා හැමෝම ඉදලා තියෙන්නේ මයේ මුණ දිහාවේ බලාගෙන කියලා..
“ ඇයි “
“ මොනාද පුතේ ඔච්චර කල්පනා කරන්නේ.. “
එහෙම ඇහුවේ සුභද්‍රා නෝනා.. සුභද්‍රා නෝනා පුතේ කියද්දී මට හරි ආසයි. ආදරේ හිතෙනවා. මම මුකුත් නැහැයි කියන්ට ඔලුව දෙපැත්තට වැනුවා. මන් කල්පනාවෙන් සැහෙන්න දුර ගිය විත්තියක් කියන්න පුළුවන්  වුනාට කල්පනා කරපු දේවල් එකින් එක කියන්න පුළුවන් යෑ.. ඊට වඩා හොදයි නිස්සද්දව බලාගෙන ඉන්න එක.
“ චර්ච් ගිහින් ආව ගමන් අනුරාධගේ ක්ලාස් එකට ඉඩගත්තු නිසා සින්ඩිට මහන්සිත් ඇති නේ.. සින්ඩි කැමති නම් ගිහින් ටිකක් රෙස්ට් කරන්න.. ඔය මහන්සියට හෝන්දු මාන්දු වෙලා ඉන්නේ.. “
සුභද්‍රා නෝනා ඒ කියන තත්පරයෙන් ම මම කුස්සිය මුල්ලෙන් හිමිහිට මාරු වෙලා කාමරේ පැත්තට ඇවිදගෙන ගියේ ඇත්තටම හිතට දැනුනු මහා කලකිරිච්ච හැගීමක් හින්දයි.
අනේ මන්දා ආයේ පරණ දේවල් මතක් වෙද්දී මට මහා කලකිරීමක්  දැනෙනවා. කලකිරීමටත් වැඩිය සැහෙන්න දුකයි. ඔක්කොටම වැඩියෙන් මයේ අම්මා වෙනස් වෙච්ච විදිය මට හිතා ගන්න බැහැ.. මයේ අම්මා පව් කියලා මං දන්නවා. ඒත් මයේ අම්මට මං ගැන හිතන්ට තිබුනා ඔයිට වැඩිය.
ඒත් ඉතින් මට ය කියලා ආදරයක් තිබ්බා නම් මයේ අම්මා කවදාවත් කුඩප්පා කෙනෙක් ගේන්නේ නැහැ නොවෑ.. එහෙම හිතද්දී අන්තිමට අප්පා විතරක්ම නෙවෙයි මයේ අම්මාත් මයේ ගැන හිතලා නැද්ද කොහෙද..


 •  0 comments  •  flag
Share on Twitter
Published on March 01, 2017 21:32