Aruni Kalupahana's Blog, page 10

June 22, 2014

අතීතය අයිති අතීතයට විතරමයි..

එක එක දේවල් හිත හිත
එක එක දේවල් ලිය ලිය
හිත පුරා වැට කඩොලු නැතිව
උන්නු එකමත් එක අතීතයක

නුඹව මට හමුවුනා නම්
මං ලියනවා නුඹ ගැන
මං දන්න හොදම කවිය
මුළු ලෝකෙටම වැඩිය හොදට

අතීතය වගේ නෙවේ දැන්
හැමදේම හරි වෙනස්
ආදරේට දැන් කොයි ඉඩක්
තල් අරණට මම දුරයි දැන් ගොඩක්

මුහුණු පොතේ නුඹ ඉන්නවාලු
ආයෙම මං ගැන හිතෙනවාලු
ඒ කාලේ කියන්න බැරි වුනු
ඒ හීනෙට ආයෙම එන්න
පුළුවනි ද අහනවාලු

නුඹ එක්ක නුඹේ ඉසව්වට
යන්න හිතාගෙන මං නුඹට
පෙම් බදිනකොට අහස උසට
නුඹ ආල බැන්දේ වෙන හිතකට

නුඹ සිහළ මං දමිළ
සිංහ කොඩියේ එක ලග
උන්නාට අපි හැමදාම
 නුඹට බැහැ මගේ වෙන්න
කියලා නේද නුඹ කිව්වේ ඉස්සර

මං ලිව්ව කවි රටා
නුඹට බව දැන දැන
නුඹ වෙන හිතකට
ගී සින්දු ලිව්ව හැටි
අමතක නැහැ මට තවම

තාමත් මං සිංහල
තාමත් නුඹ දමිල
පන්සලයි පල්ලියයි කෝවිලයි
තාමත් නැහැ එක ලග
වෙනසක් නැහැ කොතැනක
ඉතින් ඇයි නුඹ විතරක් ඔහොම

හිත අකැමැතියි දැන් තල් අරණට
ආයෙම එන්නට නැහැ හිත් කොනක
නුඹ ඉස්සර හදපු නුඹේ හීන වල
නුඹ ඉන්න හිටපු විදියට
මට හොදයි මගේ පුරුදු පාළුව

මගේ ඇහින් දොරේ ගලපු
කදුළු වැල් දැක දැක ඉස්සර
නුඹ උන්නේ අහක බල බල
මගේ හිත කොනිත්තන්න

නුඹ එන්න යන්න කියන හැටියට
එන්නේ නැහැ මම නුඹේ ගාවට
මගේ සිංහලකම මට හොදයි
නුඹටත් වැඩිය

ඉන්න තැනක ඔහොම ඉන්න
මෙච්චර කල් මං දරපු ගින්දර
දරන්න දැන් කාලේ හරි නුඹට
එතකොටවත් හැකි වේවි නේ
ආදරේට ජාති වාද නැති හැටි
තේරුම් කර ගන්න
 •  0 comments  •  flag
Share on Twitter
Published on June 22, 2014 04:46

May 24, 2014

ඇහැලේපොළ කුමාරිහාමියි අතීතයයි - 01


   1814 මැයි 17 වෙනි ද ට එලි වෙද්දී නුවර අහස පුරාම කළුවට කළුවේ මහා මුසල අදුරක් මුහු වෙලා තිවුනේ මොකක්දෝ වින්නැහියක් වෙන්න යනවා කියලා කලින් ම ඉව වැටිලා වගෙයි.  ජනෙල් කුරු අතරින් අහස දිහාවේ බලාගෙන මොනවාදෝ හිත හිතා වුන්නු ඇහැලේපොල කුමාරිහාමිගේ හිත එක පාර හොයාගෙන ගියේ ටික දොහොකට කලින් සිද්ද වෙච්ච මහා මුසල සිදුවීම දිහාවටයි.

   එදා සබරගමුවේ රාජකාරි වැඩක් කොරගෙන එන්න කියාගෙන නිලමේ වේලපහින්ම ගියාට ආයෙම එන්න තව දවසක් දෙකක් ගත වෙන බව දන්න නිසාම වේලපහින්ම වලව්වේ වැඩ කටයුතු ටික අහවර කොරලා වලව්වේ දොරවල් ටික වහලා දරුවෝ ටිකයි සෙදෝ යි එක්ක වලව්වේ ඇතුලට වුනේ හොර හතුරෝ එනවා ටම නෙවේ  කොයි දේටත් පරිස්සම හොදයි කියලා දන්න හින්දා.

   රෑ දෙගොඩ හරිය වෙනකම් කාමරේ කොනක දැල්වුණු කැකුණ තෙල් ලාම්පුවත් හෙමිහිට පල්ලම් බහිද්දී  දැනෙන තිර පිළිස්සුම් ගදත් එක්ක යන්තම් ඇහැ පියවිගෙන යද්දී ඒක පාරටම විදියේ කොනකින් ඇහුනු අස්ස කුර ගැටෙන සද්දෙත් එක්ක කුමාරිහාමිගේ හිත ගැස්සුණ ත්  කවුරුන් හෝ පණිවිඩයක් රැගෙන මාලිගයට යනවා ඇති කියලා හිත සනසා ගෙන නින්ද සැරසුණා විතරයි අස්ස කුර හඩ ලං ලං වෙලා ඇහෙන්න අරගත්තා.

   ටිකක් වෙලා ඇහුම්කම් දීගෙන වුන්නු හන්දා දැන් නම් ටක්කෙටම අස්සයා ඉන්නේ ඇහැලේ පොළ වලව්වේ ගෙමිදුල දිහාවෙන් කියලා කුමාරි හාමිට සැකයක් නෑ..
 
    නිලමේ මේ මහා රෑ දෙගොඩ හරියේ එන්නේ නැති බව හොදටම දන්න හින්දා ම කුමාරිහාමි කොයි කටත් කියලා යහන පාමුල පැදුරු කඩමාලක් දාන් නිදන් වුන්නු සෙදෝ ව අවදි කරන්න තැනුවේ කොයි එකටත් තනියට සෙදෝ ව ඇහැරෝන එක හොදයි කියලා දැනුනු හන්දා යි.  ඒත් කුමාරි හාමි කොච්චර කතා කරත් සෙදෝ ව ඇහැරව ගන්න එක අමාරු රාජකාරියක් වුනා.

   ගෙයි මිදුලේ දෙතුන් දෙනෙක් දෙතුන් දෙනෙක් ගේ අඩි සද්දේ ඇහෙද්දී හිතට වෙර වීර්ය කර ගත්තු කුමාරිහාමි ජනේලය ලග ඉදන් පියන ලාවට ඇරලා එළිය බැලුවේ දොර අගුලු තදින් අගුළුලා ද කියලා තහවුරු කර ගත්තාටත් පස්සේ..

  පුර සද එලිය තිබුණු හින්දාම  චෙරි ගහේ බැදලා වුන්නු අස්සයවත් ඒ අසලම වුන්නේ රාජකීය හේවායනුත් අදුර ගන්න එක කුමාරි හාමිට අපහසු වුනේ නම් නැහැ..

  හෙමිහිට දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි ට මතක් වුනේ නිලමේ එක්ක දෙතුන් ගමනක් මාලිගාවට ගිය වෙලේ වඩිග රජු ගේ ඇස් වල තිබුණු මනමාල බැල්ම..

 " කවුද.. " තුන්වෙනි පාරටත් දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි හිතට නැගුණු තරහෙන්ම ඇහුවා..

" කුමාරිහාමි.. මේ මම ශ්‍රී වික්‍රම.. "

   කුමාරිහාමි ගේ කටහඩ ඇහුණු දිහාවට ඇස් යොමු කල හෙයින් දෝ ජනේලය පියන යන්තමින් විවෘත බැව් දැක එතැනට පැමිණි රජුගේ ඝන රැවුලෙන් වැහුණු මුහුණ ජනෙල් පියන අතරින් පෙනෙන්නට විය. හිත තරමක් ගැස්සුණ ද ඒ බැව් රජු ට නොපෙන්වන්නට කුමාරිහාමි ඉටා ගත්තාය.

" නිලමේ ගෙදර නැහැ නොවැ..  ගියේ සබරගමු රාජකාරියකට බැව් ඔබතුමා දන්නවාත්  ඇති නේ.. "

" මම දන්නවා කුමාරිහාමි.. නිලමේ ම සබරගමු යැව්වේ මම යි..  මම ආවේ ඔබ හමුවෙන්නටයි.. දොර අරින්ට කුමාරිහාමි.. "

 රජ කෙනෙක් ට තරම් නොවෙන ඒ වදන් ඇසීමෙන් කුමාරිහාමිට නැගුනු කෝපය මෙතකැයි කිව නොහැකි තරම් ය.

 " ලැජ්ජා නැති මහරජ... ස්වාමියා නැති ගෙදරකට මේ  මහා රෑ පැමිණීමත් ඔබ වන්නෙකුට නොවටින්නකි.. ඒ නිසා වහාම මෙතනින් ඉවත් ව යන්න.. "

 හිතට නැගුනු කෝපය නිසාම ජනෙල් පියනත් වඩිග රජුගේ මුහුණට තදින් වසා දැමුවාය.

 " හඃ හොදයි කුමාරිහාමි.. එහෙනම් නුඹ විරුද්ධ වුනේ මේ රටේ මහා රජු ට බැව් සිහි තබා ගත්තොත් හොදයි.. පල විපාක ත් නුඹට බලාගන්න පුළුවන් ලගදීම.. හඃ  "

  තමන්ට සිදු වූ අවමානය දරාගත නොහැකිව රජු පිටව ගියේ කෝපයෙනි. අස්ස කුර හඩ නැගෙන වේගයටත් වැඩියෙන් කුමාරිහාමිගේ හිත ගැහෙන්නට වුයේ රාජ කෝපයට කල නොහැකි දෙයක් නැති බැව් දන්නා නිසාමය.

  එහෙත් එහෙමයි කියා තමන්ගේ සැමියාට ද්‍රෝහී වෙනවාට වඩා බෝගම්බර වැව් දියට පැන මියෙනවා සැපකි. මැරුවත් වඩිගයාට අවනත වෙන්නෙත් නැති බැව් සැබෑය.. එහෙත් මොහොතකට කලින් සිදුවීම නිසා හිතට දැනුණු බිය නිසාවට දෝ කුමාරිහාමි රෑ එලි වෙනතුරු හඩා වැටුනාය..

පාන්දර කුකුළාගේ කණිසමට ඇහැරුණු සෙදෝ කුමාරිහාමි යහන මත නොමැති නිසාවෙන් කලබලයෙන් හොයද්දීත් කුමාරිහාමි තවමත් දොර පාමුල කදුළු එක්ක කළුවර අහසට හුල්ලන ගමන්..


කුමාරිහාමි සෙදෝ එක්ක පෙරේදා රැයේ වෙච්ච දෑ කිව්වා වෙලේ ඉදන් හිතට දැනුණු කෝපයටත් වඩා ඇති වුනු බිය නිසාම සෙදෝත් කදුළු පෙරාගෙන දෙයියන්ට කියා කියා අඩන්න තියා ගත්තේ තමන්ගේ ජීවිතේටත් වඩා කුමාරිහාමිගෙයි නිලමේගෙයි අර අසරණ දරුවන්ගෙයි ජිවිත වලට වඩිග රජා මොනා කරයි ද  කියලා හිතේ අඩියටම දැනුණු බයයි අසරණකමයි හන්දා..



 •  0 comments  •  flag
Share on Twitter
Published on May 24, 2014 10:35

April 29, 2014

නුඹට මං ආදරෙයි.. මේ මටත් වැඩිය..

වැස්ස නුඹට
මම ආදරෙයි
මෙතරම් කියනු
බැරි තරමට

තනිකමින් තැවුණු
නිදි නැති රාත්‍රින් ලග
හෙමි හෙමින් ඇවිදින්
නුඹ සීතල මුහු කර
නින්ද හොයා දුන් නිසාවට

අන්නතයක් නොදකින
හිස් බැල්මක් ලග
සාංකාව පලවා හැර
මන්දාරම් අදුර එක්ක ඇවිත්
නුඹ මට ලියන්නට
වචන දුන් නිසාවට

කදුළු එක්ක පොර බදා
විරහව හද පෙලනවිට
කතා ගොතපු ලෝකෙන්
කදුළු මුවා කරන්න
වැහි පොද එක්ක ඇවිත්
නුඹ මා තුරුලට ගත් නිසාවට

සීතල මුහු කරගෙන
මන්දාරම් අදුර විහිදුවාගෙන
දුවිලි සුවද මතු කරගෙන
හිරිකඩ එක්ක ඇවිත්
මට හුස්ම ගන්න කියා දුන් නිසාවට

තරු එලියට පවා අමතක වුනු
මගේ ලොවට නුඹ ඇවිදින්
හිත මිතුරැ සගයෙක් ව
මට හයිය වුනු නිසාවට
වැස්ස නුඹට මං ආදරෙයි
මේ මටත් වැඩිය...


 •  0 comments  •  flag
Share on Twitter
Published on April 29, 2014 03:11