ලැජ්ජා බයක් නැති කෙල්ලෙක් !!!!
ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්.. ඒ කියන්නේ අමුතු වර්ෂන් එකක් ද ??
ඊයේ රාත්‍රියේ ඇවිත් තිබුණ චෝදනාවක් !! මේක අද උදේ ඇදෙන් නැගිටින්න කලින් දැක්ක වෙලේ ඉදන් මං තාමත් හිතනවා මේ කතාව ගැන..
මං සහෝදරයෙක් කියලා හිතපු එක්කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා
" මම ඔයාව මුලදී දැක්කේ හුරතල් නංගියෙක් විදියට.. අහිංසකකමට හැදුන ලැජ්ජාව බය තියෙන චුටි නංගියෙක් විදියට.. එදා එහෙම වුනාට දවස් ගානක් බලාගෙන ඉද්දි හිතපු තරම් පොඩිත් නැහැ කියලා තේරුණා.. බ්ලාහ් බ්ලාහ් "
මං හිතන්නේ මගේ ජිවිතේ මා වැඩියෙන් ම කම්පනයට සහ දුකට පත් කරපු වචන පේළිය මේ..
ලැජ්ජාව සහ බය !! ඔව් මං පිලිගන්නවා කෙල්ලෙක් වුනාම මේ දෙකම අඩු වැඩි වශයෙන් තිබිය යුතුමැයි කියලා..
නමුත් සෑම මොහොතකම ඔය කියන ලැජ්ජාව සහ බය කියන කියන දෙක දෝතින් අරගෙන ජිවත් වන සම්ප්‍රදායික ගැහැනියක වීමෙන් මේ 21 සියවසේ ජිවත් විය හැකි ද යන්න මා පෙළනා විශාලතම ගැටළුවයි.
විරුද්ධ විය යුතු තැන දී විරුද්ධ වන්නටත් කෙලින් කිව යුතු දෑ කිව යුතු තැන් හි දී කියන්නටත් ගැහැනියකට හැකියාවක් තිබිය යුතුය.
ඒ මගේ මතයයි.
හිත හොද ගෑණි හැමදාම බඩින් යැයි පුරාණ ගැමියා කිවේ කට කහනවාට නොවේ යැයි මම විශ්වාස කරමි.
ගැහැණියක ද මලක් විය යුතු අවස්ථාවක මලක් ලෙසින් ද ගලක් විය යුතු අවස්ථාවක ගලක් ද විය යුතුය.
ගලක් විය අවස්ථාවක මලක් වුවහොත් ගැහැණියකට ජීවිතය වරදින්නට වැඩි කාලයක් යන්නේ නැත.
ගැහැණියක මාධ්‍යවේදිනියක වූ කල සමාජය ඇයට විවිධ අර්ථකතන දෙති. ඊටත් වඩා ඇය තම මතයක් රැගෙන සමාජයට යන්නට වෙර දරන විට එකී සමාජයම ගල් මුල් සොය සොයා ඇයට පහර දෙන්නට වෙර දරති.
දන්නා හදුනනා මිතුරෙකු ( පිරිමි ) සමග රාත්‍රියේ අවශ්‍යතාවයකට දුරකතනයෙන් කතා කිරීම
රාජකාරිමය අවශ්‍යතාවයකට දුරකතනයෙන් වෙලාවක් කලාවක් නැතිව කතා කිරීම
මහා පාරේ තනි පංගලමේ තම තමන්ගේ වැඩ කටයුතු කරගන්නට යාම
සාමාන්‍ය විහිළුවක් කර උස් හඩින් සිනාසීම
යහළුවෙකු ( පිරිමි ) සමගින් ගිරවියක සේ කියවීම
මිතුරන් ( පිරිමි ) සමග ගමන් බිමන් යාම
මෙකි කාරණා ගැහැණියකගේ ලැජ්ජාව සහ බය නැති කරන කාරණා කියා මම විශ්වාස නොකරමි. නමුත් සමහරු එසේ සිතති.
තමන් කවුරුන්දැයි තමන් දන්නේහි නම් තමන් කරනා දෙයහි හොද නරක තමන්ට වැටහීමක් තියේ නම් කැළලක් ඇති නොවන ආකාරයට කටයුතු කල හැකි නම් බිය විය යුතු නැතැයි මම සිතමි.
ලැජ්ජාව සහ බය යන සළු පිලි දෙකම පොරවාගෙන සිටිය හැකිය. නමුත් එදාට මේ සමාජයේ ජිවත් වන්නන් ගැහැණිය කෙතරම් අසරණ කරාවි දැයි හිතා බැලීමත් ඔබටම භාර කරමි.
අද ඔබ දකිනා යුවතිය කෙදිනක හෝ මේ විශ්වතලයට දරුවෙකු දායාද කර මවක වනු ඇත.
ඒ දරුවා අවජාතකයෙකු නොකරන්නට දරුවාට සුපිරිසුදු ජාතකයක් ලබා දීමේ වගකීම ගැහැණියක සතුය. ඒ සදහා විරුද්ධ විය යුතු තැන හි විරුද්ධ වීමට ශක්තියක් තිබිය යුතුය.
ලැජ්ජාව සහ බය කියන සළු පිලි දෙක පොරාවාගත් වත්මන් ගැහැණියට රැකවරණයක් තියේ වී ද ??
අතීත සමාජය අනුව නම් හැකිය. නමුත් වත්මන් දුෂිත සමාජය හමුවේ එසේ යැයි සිතිම උගහටය.
වත්මන් තරුණියක ලෙසින් සිය දෙපා මතින් සිටගෙන ජිවත් වීමද නැතහොත් සම්ප්‍රදායික ගැහැණියක වී දිග තල ගොසින් කෙනෙහෙලිකම් විද දරා ගනිමින් දරුවන් වදා කුස්සිය මුල්ලට කොටු වී බත් තැම්බීම ද මා කල යුතු වන්නේ යැයි මම ඔබෙන්ම විමසමි.
කිසිවකු ට ඇගිල්ල දිගු කරන්නට නොව රිදුම් දෙන සිත සනසා ගන්නට අකුරු කලෙමි.
(ඔබ මෙය කියවන බව මම දනිමි. හිත රිදුනා සමාවන්න.. කරන්නට දෙයක් නැත.. එහෙත් ඔබ විසින් ඇති කල හිත් රිදුම ඊටත් වඩා දරුණුය..)
Published on April 11, 2015 23:01
No comments have been added yet.