එකම අරමුණ කතා බෙදා හැරීම පමණි !!

මිනිසුන් කටකතා හදන්නේ හරියට හතු පිපෙනවා වගේ එක පොදියට. එක ඕපදූප කතන්දරයක උණුහුම පෑළ‍ෙදාරට ළං වන්නටත් කලියෙන්ම කොහෙන් හෝ තවත් කතන්දරයක් ගොතා ‍ෙදාරකඩ තියන්නට සමහර එවුන් හරි හපනුන්ය. පළපුරුදු නවකතාකරුවකුටත් වඩා හරි ඉක්මනින් ඔවුහු කතන්දර නිර්මාණය කරන්නෝය. ඊටත් වඩා හරි ඉක්මනින් ඔවුන් ඒවා බෙදාහරින්නටද සමත්ය.

ඒ තරම් කැපවීම, උත්සාහය විතරක් නොවේය. කතන්දර ගොතන්නට ඇති උනන්දුවද අතිමහත්ය. කටකතා නිර්මාණය කිරීමත් සමාජයට මුදාහැරීමත් එය වගා කර දැමීමත් හැරෙන්නට එතැනින් එහාට ඒ කටකතාවලට බඳුන් වූ චරිතවලට කුමක් සිදුවේදෝ කියා නම් ඔවුන්ට වගේ වගක් නැත. වැටවල් ගාණේ අනුන්ගේ රෙදි හෝද හෝදා යන අයට අපේ අත්තම්මලාගේ කාලේ නම් කිව්වේ රෙදි නැන්දලා එනවා කියලාය. වත්මනේ නම් ඉතින් රෙදි නැන්දලා විතරක් නොවේ රෙදි මාමලාත් ඉන්නවාය. මා මේ කියන්නේ ලොන්ඩරි එකේ අහිංසක ලෙස රැකියාව කර එදා වේල හොයාන්නා මාමලා නැන්දලා ගැනනම් නොවේ. අහුමුලුවල වෙන පුංචි පුංචි කතා හොරෙන් අහගෙන මහා ලොකු කතන්දර ගොතන අපේ කාලේ අනුන්ගේ රෙදි අපුල්ලන අයවලුන් ගැනය.


පාසලේ, කැම්පස් එකේ, රැකියා ස්ථානයේ විතරක් නොවේ පොළොවේ පය ගසා සිටින හැම අහුමුල්ලකම මේ රෙදි නැන්දලා මාමාලා ඕනෑ තරම් ඉන්නවාය. කාට හෝ කටකතාවක් හැදුවේ නැතිනම් ඔවුන්ට වේල් තුන හතරකින් නොකෑවා සේය. ඒ තරම් ආදරේය. අනෙකා ගැන හිතනවාය. ප්‍රසිද්ධ පුද්ගලයකු නම් ඉතින් ‍ෙදාට්ට පිළට ගියද වර්තමානයේ එයද සමහරුන්ට මාර ගොසිප් එකකි. අනුන්ගේ කුණු හොය හොයා තලු මර මරා රස විඳින පුද්ගලයන් සිටින නිසාවෙන් අපුල්ලන රෙදිවල සජීවී දර්ශන දෙන්නටත් ඉතින් එක එක අඩවි තියෙනවාය. අඩවි කිව්වේ දේව අඩවි, බහිරව අඩවි නම් නොවේය. ඊටත් වඩා ඉහළ වෙබ් ගණයේ අඩවිය. ඒ වෙබ් ගණයේ සමහර අඩවි නම් අනුන්ගේ කතන්දර හොයා දෙනවාටත් ඇති පදම් ගෙවනවාය. එක අතකින් දැන් කාලයේ අනෙක් අයගේ රෙදි හේදීම එක රැයකින් පෝසතෙක් වෙන්න නම් කියාපුම මඟකි.


ජස්ටින් බීබර් සෙලීනා එක්ක කඩේකට ගියත් ෂාරුක් ඛාන් ගෙදර ජනේලයකින් එබුණත් නයන්තරාගේ ගවුම අඟල් භාගයකින් කොට වුණත් ඉතින් එයත් මාර දෙයකි. ඒවාද අද කාලේ සමහරුන්ට වවාගෙන කෑ හැකිය. සමහරු රෙදි නැන්දලා මාමලා දැක්කාම පණ එපා කියලා දුවන්නේ මේ නිසාමද කොහෙද.
ලංකාවේ විතරක් නෙවේ ඕපාදූප හෙවීමේ කෙරුවාව ලෝකෙ කොයි තැනක කාට කාටත් පොදු වූ ධර්මතාවකි. කට කතා ද නැති තැනක් නැත. නමුත් ලංකාවේ වෙන සමහර දේවල් බැලූ කල හොලිවුඩ් බොලිවුඩ් හොඳ යැයි කියා සිතෙනා මොහොතවල්ද නැත්තේද නොවේය. හැබැයි ඉතින් මුළු ලෝකෙන්ම හොඳම රෙදි මාමලා නැන්දලා ඉන්නේ අපේ ලංකාවේ කියන එක අද අමතක නොකළ යුතු තරම් වටිනා කරුණකි. වෙන කතා ඕනේ නැත. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයකු ගෑනු ළමයකු සමඟින් හිතවත්කමට කතා කළද අපේ රෙදි නැන්දලා මාමලා නතර වෙන්නේ ඒ පුද්ගලයාගේ වයස කීයක් වුවද අර පුංචි ගෑනු ළමයට ඒ කෙනාව කසාද බන්දලා දීලා
ළමයින් දෙතුන් දෙනකුත් එක්ක එක ගෙදරකට කොටුකළා සේ මහා කතන්දර ගොතා නොමිලේ බෙදාහැරීමෙන් අනතුරුවය. ඒ තරම් ආදරේය. අනෙකා ගැන හිතනවාය.


අවාසනාවට ඔවුන්ගේ එකම අරමුණ කතා ගෙතීමත් බෙදාහැරීමත් විතරය. හානියට පත්වන ජීවිත ගැන නම් ඉතින් වග කියන්නට හාල්මැස්සකු නැතිය. ඒ ඉතින් අපේ අසිරිමත් පුංචි ලංකාවේ හැටිය. ලංකාවේ නෙවෙයි මේකේ ඉන්නා අයගේ හැටිය.


එක්තරා අහිංසක පුංචි ගැහැනු ළමයෙක් උන්නාය. ඇයගේ මිතුරු ගොන්නේ සිටි එක්තරා රෙදි මාමා කෙනෙක් ඇය ඇයගේ මිතුරකු හා අනවශ්‍ය සම්බන්ධතාවක් ඇතැයි පෙන්වමින් හරි අපූරු කතාවක් ගෙතුවා විතරක් නොවේ හතර අතේ බෙදාහරින්නට වෙහෙසිණි. අවසන් ප්‍රතිඵලය වූයේ රටට මූණදෙන්නට නොහැකිව ඇය ඇගේ ජීවිතයෙන් සමුගන්නට තීරණය කිරීමය. තමන් ‍ෙදාඩන හිස් වචනවලින් තවත් කෙනකුට ජීවිතයම වුව අහිමි විය හැකි බව අපේ රෙදි නැන්දලා මාමලා තේරුම් නොගන්නාතාක් තවත් අනන්ත එවන් මල් කැකුළු නොසෑහෙන්න මේ දෙරණින් පරව යන්නට ඕනෑ තරම් ඉඩ තියේය.


ඒත් ඉතින් මොන ධර්ම දේශනාව දුන්නද ඔය රෙදි නැන්දලා මාමලාගේ පුරුද්ද නවතින්නේ නම් නැතිය. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියන්නෙත් ඉතින් නිකමට නොවේනේ. කටට ආවට ඔහේ කියවනවා විතරය. අනෙක් එකා එල්ලිලා මළාද, එයද වීඩියෝ කර යූටියුබ් දානා යුගයක ඉතින් කවර කතාද. අපි කිව්වට ඉතින් ලෝකය හැදෙන්නේ නැතිය. රෙදි නැන්දලා මාමලා වෙනස් කරන්නට බැරිය. හැබැයි ඉතින් අපිට රිදෙන්නට ලිවිය හැකිය. තමන් හැදෙනවාද නැද්ද කියන එක ඉතින් තම තමන්ගේ දෙයකි. ඒ විතරක් නොවේය. කවුරු කොහොම මොනවා කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසා සිටිය යුතුයි කියන පැරැණි වටිනා කියමනත් ඉතින් අපි මතක් කරන්නට කැමැත්තෙමු.


සමහරු ගොතන කතන්දරවලට ඉතින් සඳ ගෙනැවිත් මිදුලෙන් තියන්නට පුළුවන්ය. අතාත්වික දෑ තාත්වික ලෙස මවන්නට සමහරු හරි දක්‍ෂය.
ඒත් ඉතින් ඔය කියන කරුණු කාරණා මොනවා වුවද සිහි බුද්ධියෙන් තම තමන් අනුන්ගේ කතා අසා සිටිනා තාක් කාට කාටත් ඕනෑ හැටියට ජීවිත අසරණ කළ නොහැකි බව වටහාගත යුතුය.
දවල් හීන කවදාවත් සැබෑ වෙන්නේ නැති බව කවුරු කවුරුත් දැනගත යුතුය. එය තේරුම් නොගන්නා තාක් ඉතින් හීනවලම ගිලී සිටිය හැකිය.

අරුණි කළුපහන
 •  0 comments  •  flag
Share on Twitter
Published on July 11, 2015 21:08
No comments have been added yet.