කෙල්ලෙක් මලක් සේම ගලක්ද විය යුතුය



ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්... ඒ කියන්නේ අමුතු වර්ෂන් එකක්ද?? ඊයේ පෙරේදා දවසක රාත්‍රියේ ඇවිත් තිබුණ හරි අපූරු චෝදනාවක් !!!! ඒ මෙන්න මෙහෙම,


"මම ඔයාව මුලදී දැක්කේ හුරතල් නංගියෙක් විදියට... අහිංසකකමට හැදුණ ලැජ්ජාව බය තියෙන චුටි නංගියෙක් විදියට... එදා එහෙම වුණාට ඉතින් දවස් ගාණක් බලාගෙන ඉද්දි හිතපු තරම් පොඩිත් නැහැ. ලජ්ජා බයත් නැහැ කියලා තේරුණා..."

මං හිතන්නේ මගේ ජීවිතේ මාව වැඩියෙන්ම කම්පනයට සහ දුකට පත් කරපු වචන පේළිය තමයි ඒක.


ලැජ්ජාව සහ බය!! ඔව් මං පිළිගන්නවා කෙල්ලෙක් වුණාම ඔය දෙකම අඩු වැඩි වශයෙන් තිබිය යුතුමැයි කියලා. නමුත් සෑම මොහොතකම ඔය කියන ලැජ්ජාව සහ බය කියන දෙක දෝතින් අරගෙන ජීවත් වන සාම්ප්‍රදායික ගැහැනියක වීමෙන් මේ 21 සියවසේ ජීවත් විය හැකිද යන්න මට නම් විශාල ගැටලුවක්. විරුද්ධ විය යුතු තැන දී විරුද්ධ වන්නටත් කෙළින් කිව යුතු දෑ කිව යුතු තැන් හිදී කියන්නටත් ගැහැනියකට හැකියාවක් තිබිය යුතුමයි. හිත හොඳ ගෑනි හැමදාම බඩින් යැයි පුරාණ ගැමියා කීවේ කට කහනවට නෙවේ යැයි මම විශ්වාස කරමි.


කෙල්ලෙක් මලක් විය යුතු අවස්ථා සේම ගලක් විය යුතු අවස්ථාද එමට ඇත. මලක් විය යුතු අවස්ථාවක මලක් ලෙසද ගලක් විය යුතු අවස්ථාවක ගලක් ද විය යුතුය. ඔව්. අවස්ථා දෙක මාරුකර ගන්නට ගියෝතින් නම් ජීවිතය වරදින්නටත් වැඩි ‍ෙදාහක් යන්නේ නැත. ඒවාට උදාහරණ ද නැතිවා නොවේ. කෙල්ලෙක් විප්ලවකාරියක වූ කල සමාජයේ ඉන්න වුන් ඇයට විවිධ අර්ථකථන දෙන්නට වෙහෙසෙති. ඊටත් වඩා ඇය තම මතයක් රැගෙන සමාජයට යන්නට පළමු පියවර තබන විටම එකී සමාජයම ඇයට ගල් මුල් සොය සොයා පහර දෙති.

මතක ද නිර්භයාව??

නිර්භයාගේ ජීවිතය උදුරාගත් මුකේෂ් සිං නමැති පාපතරයා අවසන කීවේ රාත්‍රි නවයෙන් පසුව මහමඟ ගමන් ගන්නා සියලු කාන්තාවන් දූෂණයට ලක්කොට මරා දැමිය යුතුයි කියාය. ඔහුගේ වචන වලින්ම කීවොතින්.


"වැදගත් ගැහැනු ළමයෙක් රාත්‍රි 9ට මේ විදියට ඇවිදින්න යන්නේ නැහැ. දූෂණ සිද්ධියකදී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට... ගෙදර වැඩ ආදිය ගැහැනුු ළමයින්ට අයිති වැඩ. මිනිසුන් විසින් මහමඟ රාත්‍රියේ ඇවිද යන කාන්තාවන්ට පාඩමක් ඉගැන්විය යුතුයි"

"දූෂණයට ලක්වෙන කොට ඇය එයින් ගැලවෙන්න උත්සාහ නොකළ යුතුයි. නිශ්ශබ්දව ඊට ඉඩ දෙන්න ඕනෑ. එහෙම කළා නම් ඔවුන් "වැඩේ ඉවර කරලා" ඇයව බස් එකෙන් ඉවතට දමල යාවි. ඇගේ මිතුරාට විතරක් පහර දේවි,"

ඔවුන් ඇයගේ ජීවිතේ උතුරගත්තා පමණක් නොව ඇයගේ මරණයට ඇයව වරදකරුවා කරන්නට වෙර දරන්නේය. මහමඟ රාත්‍රියේ පිරිමියකු සමඟින් යෑම ජීවිතය නැති වීමට තරම් කාරණයක්ද??

විය නොවිය යුතු දේ සිද්ධ වෙන තැන් හි විරුද්ධ වීම වැරැද්දක්ද??

ඒ අසල්වැසි ඉන්දියාවේ ඝාතකයාගේ චෝදනාය. ඊටත් වඩා අපූරු චෝදනා අපේ සමාජයේ අෑයෝ සතුය. දන්නා හඳුනන පිරිමි මිතුරකු සමඟින් රාත්‍රියේ අවශ්‍යතාවකට දුරකතනයෙන් කතා කළහොත් ඇය ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්?? රාජකාරිමය අවශ්‍යතාවකට දුරකතනයෙන් වැඩි වෙලාවක් කලාවක් නැතිව කතා කළහොත් ඇය ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්? පිරිමි මිතුරකු සමගින් අවශ්‍යතාවකට මහා පාරක ගමනක් ගියොත් ඇය ලැජ්ජා බයක් නැති කෙල්ලෙක්?? සමාන්‍ය විහිළුවක් කර උස් හ¾ඩින් හිනා වුවහොත් හෝ පිරිමි මිතුරකු සමඟින් ගිරවියක සේ කියෙව්වොත් ඇය ලැජ්ජා බය නැති කෙල්ලෙක්???

මේ අපේ අෑයින්ගේ චෝදනාවලින් ඉතාම ස්වල්පයකි.

මෙකී කාරණා කෙල්ලකගේ ලැජ්ජාව සහ බය නැති කරන කාරණා කියා මම විශ්වාස නොකරමි. නමුත් සමහරු එසේ සිතති. තමන් කවුරුන්දැයි තමන් දන්නේ නම් තමන් කරනා දෙයහි හොඳ නරක තමන්ට වැටහීමක් තියේ නම් කැළලක් ඇති නොවන ආකාරයට කටයුතු කළ හැකි නම් බිය විය යුතු නැත.



ඔය කියනා හැටියට ලැජ්ජාව සහ බය යන සළුපිළි දෙකම පොරවාගෙන සිටිය හැකිය. නමුත් එදාට මේ සමාජයේ ජීවත් වන්නන් ගැහැනු ළමයකුව කෙතරම් අසරණ කරාවි දැයි ඔබම සිතා බැලීම වටී. සිතන්න... අද ඔබ දකිනා යුවතිය කෙදිනක හෝ මේ විශ්වතලයට දරුවකු දායාද කර මවක වනු ඇත. ඒ දරුවා අවජාතකයකු නොකරන්නට දරුවාට සුපිරිසුදු ජාතකයක් ලබා දීමේ වගකීම ඔය කියනා යුවතියම සතුය. ඒ සඳහා විරුද්ධ විය යුතු තැන්හි විරුද්ධ වීමට ශක්තියක් තිබිය යුතුය.


ලැජ්ජාව සහ බය කියන සළුපිළි දෙක පොරවාගත්ත ද වත්මන් සමාජයේ තරුණියකට රැකවරණයක් තියේවි කියා සිතන්නට පුළුවනිද?? අතීත සමාජය අනුව නම් තිබිය හැකිය. නමුත් වත්මන් දූෂිත සමාජය හමුවේ එසේ යැයි සිතීමත් විහිළුවක්ය. පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන විට වුවද තරුණියක දෙසට අසංවර ඇස් කීයක් නම් යොමුව තියේද?? මිනිබිරියන් සිටින ආච්චි අම්මා කෙනෙක් වුවත් මොකෝ කියන කටවල් කීයක් නම් මේ සිල්වත් ගුණවත් සමාජයේ තියෙනවාද??

ඉතින් වත්මන් තරුණියක ලෙසින් සිය දෙපා මතින් සිටගෙන ජීවත් වීමද නැතහොත් සාම්ප්‍රදායක ගැහැණියක වී දුක් විඳ දීග තල ගොසින් කෙනෙහෙළිකම් විඳ දරා ගනිමින් දරුවන් වදා කුස්සිය මුල්ලට කොටු වී බත් තැම්බීමද වත්මන් කෙල්ලක් කළ යුතු දැයි සියලුම දෙනා සිතා බැලීම වටී.

කිසිවකුට ඇඟිල්ල දිගු කරන්නට නොව, රිදුම් දෙන සිත් සනසා ගන්නට අප විසින් මෙය සිත්හි තබාගත යුතුය. හිත රිදුනා නම් සමාවන්න... කරන්නට දෙයක් නැත... එහෙත් කෙල්ලන්ට වන සිත් රිදුම් ඊටත් වඩා දරුණුය.



අරුණි කළුපහන
 •  0 comments  •  flag
Share on Twitter
Published on June 29, 2015 21:13
No comments have been added yet.