සේනි
ඔබ ඈත සද වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලග ඉන්නා
බණ්ඩාර අතාවුදයන්ගේ ගැඹුරු හඩින් ගැයෙනා ගී පද දෙසට මාධව මොහොතකට සවන් යොමු කළා.. ගෙවෙන්නා වූ පාලු රාත්‍රියට ගැලපෙන අපුරු ගීතයක්.. මාධව ගීතයට රැදී අවධානය අතරින් ම ආලින්දය වසා ගන්න රූස්ස ගස් පෙළ අතරින් අහස දිහා බැලුවා.. පහළොස්වක සද අහසේ දිලිහි දිලිහි උන්නේ පරිසරය පුරාවටම කහ පැහැති ආලෝක දහරා විහිදුවමින්..
පහළොස්වක සද ගාවින් හැමදාම වගේ තනියට උන්නේ පහන් තරුව.. ඉස්සරම දවසක සේනි එක්ක නුවර වැව රවුමට වෙලා අහසේ තරු ගැනපු මාධවට මතක් උනා.. සේනි මුළු අහසින්ම වැඩියෙන් ම ආස කලේ පහන් තරුවට.. මාධව පෙම් බැන්දේ සදට.
නුවර වැව් ජලය මතට පතිත වෙන පුර හදේ සේයාව දිහාවේ බලාගෙන සේනි පුංචි ගල් කැට වලින් වැව් ජලය මතට විසි කරේ සදේ ජායාව වැව් දිය මතින් මකා දමන්න උත්සාහ කරමින්..
" සේනි.. "
මාධව ඒ දිහාවේ බලාගෙන හඩ අවදි කළා..
" කියන්න.. "
" සේනි, කැමති නැද්ද සදක් වෙන්න.. "
" නැහැ.. "
" ඒ ඇයි ?? "
" මං කැමති පුංචි තරුවක් වෙලා, මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.. "
" පුංචි තරුවක් වෙන්නේ මොකට ද ?? එහෙනම් සදට තනි රකින පහන් තරුව වෙන්න.. "
" අපෝ බැහැ.. එතකොට සදාකාලිකවම සදට තනි රකින්න වෙනවා.. "
" ඉතින් හොදයිනේ සේනි.. මම සදක් වෙන්නම්.. ඔයා පහන් තරුව වෙන්න.. "
" අනේ බැහැ .. ඔයා සද වෙනවා නම් මම ඒ අහසකවත් ඉන්න තරුවක් වෙන්න කැමති නැහැ.. හැබැයි ඒත් ඉතින් ඔයාත් දන්නවා ඇතිනේ සදයි පහන් තරුවයි අතර වුනත් හැමදාම ලං වෙන්නේ නැති පරතරයක් තියෙනවා කියලා.. "
" පරතරයක්, හාහ් හඃ හඃ.. ඉතින් සේනිත් දන්නවා ඇති නේ සද නැතිනම් අහසේ කොයින් ද තරු ?? "
තමන් කියුව නොඇසුනාක් මෙන් එදා ඇය එතනින් ගියයුරු මාධවට තවමත් මතකයි..
කලකට පසු වුව ද තමන්ගේ අහසේ පහන් තරුව තියා අහලකවත් පායන පුංචි තරුවක සෙවනැල්ලක් වන්නටත් කැමැත්තක් නොතිබුණු සේනිව බලෙන් රදවා ගත් හැටි, ඒ නිසාම ජීවිතය කෙතරම් වෙනස් වුණා ද උනා ද යන්න පිළිබද ව මාධව රාත්‍රී අහස දිහාවේ බලාගෙන කල්පනා කරපු වාර අනන්තයි..
සේනිව තමන්ට මුණ ගැහෙන කොටත් සේනි යන්තම් හිරිමල් වියේ පසු වූ පාසල් සිසුවියක්.. එවකට පටන් තමන් ඇයට කාලයක් යනතුරුම පෙම් බැන්දමුත් ඇය කෙදිනකවත් මාධවට කැමැත්තක් දැක්වුයේ නැහැ.. ඇය එයට සෘජු පිළිතුරක් නොදුන්නත් වැටහුන පරිදි ඇය ජායාරූප ශිල්පියෙකු වූ තමන්ගේ ප්‍රතිරූපයට කැමැත්තක් දැක්වුයේ නැහැ.. අනෙක තාරුණ්‍ය පසු කර යමින් හුන් තමන්ට එවකට තිබු ප්‍රේම සම්බන්ධතා කිහිපයක තතු ඇය දැන සිටීමත් නිසාවෙන් ඇයට තමන් පිළිබද විශ්වාසයක් නොමැති වූ බවත් මාධව දැන හුන්නා..
ඒ නිසාම තමන්ගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට සේනිට හැකි වුයේ එකවරමයි..
" සේනි.. "
තමන් හා ඇය රැගෙන දෙමසක් ගෙවෙන්නට ලං වුවත් ඇය තවමත් හා වචනයකුදු දොඩන්නට අකමැති සේ තමන්ගේම කල්පනා ලොවක තනිවය.
ඒ දෙමසටම ඇය වැඩිම වුවහොත් තමන්ට අතෙහි ඇගිලි ගණනටත් වඩා අඩු වාර ගණනක් ආමන්ත්‍රණය කරන්නට ඇත.
ඝන සිංහරාජ වන රොද අභ්‍යන්තරයේහි හුදකලා පරිසරයක වූ තමන්ගේ සංචාරක නවාතැනේ දැව මේසය අසලින් හිද ඇය සිදු කල එකම දෙය වුයේ දින සති ගෙවෙනා තෙක් අකුරු කිරීම පමණකි.
අලුයම දෙකට ආසන්න වුවත් ඇය තවමත් අවදියෙනි. මේසයේ කොනක වූ ඉටි පන්දම් දැල්ල නම් නිවී යන්නටත් ආසන්නය.. මාධව අසල වූ මොහොතකට කලින් හිස් කල කෝපි බදුනද රැගෙන නැගී සිටියේය.
" සේනි.. මොකද මේ එකම සින්දුව රිපීට් දාගෙන අහන්නේ.. "
ලියමින් සිටිය නවතා මොහොතකට දෑස දැව මේසය දෙසටම යොමු කරගෙන උන්නා මිසක ඇයට කියන්නට කිසිවක්ම තිබුනේ නැත. මොහොතක් ඇය දෙස බලා හුන් ඔහු ඉවතට යන්නට සැරසුනේය.
" මාධව අයියේ.. "
ඒ සේනි ය.. සැබවින්ම ඇය ය.. ගෙවුණු සතියටම ඇය වචනයක් දොඩන්නේ දැන් ය.
" නංගි.. ?? "
" ඒ සින්දුව.. ඒ සින්දුවට මං ආසයි ගොඩාක්.. ඒක හරියටම මටම ලිව්වා වගෙයි.. ඔයාට ඒ සින්දුව හිරිහැරයක් ද ?? "
" නැහැ දරුවෝ.. ඇත්තටම නැහැ.. ඒත් ඇයි ඔයා ඔය හැටි ඔය සින්දුවට ආස... ඔයා ගැන කියනවා කියන්නේ ඇයි ?? "
කිසිවක් නොකියූ ඇය පියගැටපෙළ තරණය කර ඉහල මාලයට ගියාය. මේසය මත වූ කඩදාහි මත ඇය ගීතයේ පදවැල් එකින් එක සටහන් කරය. මාධව ඒ දෙස මොහොතක් බලා හුන්නාය..
" ඔබ ඈත සද වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ මා ලග ඉන්නා
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවුයේ
ඒ ඈත් බවිනි හද අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුණේ
මධුසද තරුව ද හමු විලා
සිටියද ඔබ මා ලං විලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොදුරු සෙනේ ගඟ සිදිලා "
ඇය හැමදාමත් නින්දට යන්නේ තමන්ට සිතන්නට දහසක් දෑ ඉතුරු කරය
ඇය මෙසේ හැසිරීමට තමන් වරදකරුබව සැබෑය. නමුත් දෙමසකුත් ගෙවෙනා තැන් හි වුව ඇය තමන්ගේ වරදට සමාවක් දෙන්නට සුදානමක් නැති වා ද ?? මෙතරම් කාලයක් ඇය තමන් සමගින් කලකිරීමෙන් ද ??
මාධවට පුර්ණා සිහි විය..
" කොච්චර මොනා කිව්වත් ගෑනු දරුවෙක් බලෙන් කැන්දන් ගිහින් කසාද බැද ගන්න ඒක මහා වීර කමක් නෙවේ මාධව.. තමන් ගැන හිතලා ඔයා එයාව උස්සන් ගියා ට ඔයා පොඩ්ඩක්වත් හිතුව ද සේනිගේ හිත ගැන ?? "
" එත් සේනිගේ හිත කාලයක් මට ආදරය කරා කියලා අපි දෙන්නම දන්නවනේ පුර්ණා.. ඒක පාරමයි එයා වෙනස් වුනේ.. ඒත් එයා වෙනස් වන සැරයක් ගානේ මට වෙනස් වෙන්න පුළුවන් ද ?? මම උනත් එයාට කොච්චර ආදරේ කරා ද ?? "
" ප්‍රශ්නේ තියෙන්නේ ආදරේ ගැන නෙවේ මාධව.. සේනිව පැහැරගෙන ගිහින් කසාද බැදගත්තු එක ගැන.. ඔව් ඒක පැහැර ගැනීමක්.. ඒකට හරියන වචනේ ඒක.. අනික ඔයා ආදරේ ගැන කිව්වනේ.. සේනි ඔයාට ආදරේ කරා.. හැබැයි ඒ ආදරේ රැකෙන විදියට වැඩ නොකරේ ඔයයි.. ඔයාගේ පරණ පලහිලව් කාලෙන් කාලෙට එලියට එද්දී ඔයා හිතනවා ද මාධව ඒ ළමයාට ඒවා බල බලා ඔයාට ආදරෙන් ඉන්න පුළුවන් කියලා... සේනිගේ ආදරේ දිනා ගත්තා නම් ඒ ආදරේ රැක ගැනීමත් ඔයාගේ වැඩක් මාධව.. වීදුරුවක් වුනත් බිදිලා ගියාම කෑලි අහුලලා අලවනවාට වැඩිය ලග තියෙද්දී පරිස්සම් කරන්නයි දැන ගන්න ඕනි.. "
මාධවත් සේනිත් ලගින්ම දැන හුන් පුර්ණා කි සියල්ල ඇත හැර දමන්නට මාධවට නොහැකිය. ඇය පසුගිය කාලය තුල සිදු වූ බොහෝ දෑ දැන හුන්නාය.
පුර්ණාට ඇමතුමක් ගන්නට සිතු මාධව ක්‍රියාවිරහිත කර තිබු දුරකථනය ක්‍රියාත්මක කළේය.
පරිසරයේ වූ නිහඩ බව බිදගෙන දුරකථනයට පැමිණෙමින් තිබු කෙටි පණිවිඩ එකින් ඒක මාධව විවර කරන්නට විය.
" මල්ලි හිරේ විලංගුවේ වැටෙන වැඩ කරන්නේ නැතිව සේනිව එක්කන් දැන්වත් ගෙදර එනවා..සේනිව අරන් ගිය හැටි රටම දන්න එකේ තවත් ඉදිමේ තේරුම මොකක් ද ?? පුළුවන් වෙලාවක අම්මට කෝල් එකක් දෙනවා.. අම්මයි තාත්තයි බලන් ඉන්නවා.. "
ඒ අයියා යි.. දෙතුන් දිනකට පෙර කෙටි පණිවිඩය ඒවා ඇත. අයියා සේම බොහෝ හිත මිතුරන් ආපසු පැමිණෙන ලෙස කියා පණිවිඩ ඒවා තිබුණ ද සේනිගේ මිතුරන් නම් දීර්ඝ ලෙස තමන්ට චෝදනා කර බැන වැදී පණිවිඩ ඒවා තිබිණි.
සමහර කෙටි පණිවිඩ දුටු මාධවගේ මුවග ඇදුනේ සිනාවකි. ඔවුන් සේනිගේ සමවයස් මිතුරියන් නිසාවදෝ තවමත් සිතන්නේ පුංචි දැරියන් ලෙසිනි.
මාධව ඒ මදහසින් යුතුවම පුර්ණාට ඇමතුමක් ගත්තා..
Published on May 23, 2015 13:09
No comments have been added yet.