රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 6


“ සින්ඩිගේ ඇත්තම නම ද සින්ඩරෙල්ලා “
මගෙන් ඕම ඇහුවේ වෙන කවුරුත් නෙවෙයි ඕ0 ශාස්ත්‍රීගේ අම්මා ගෙනාව ටියුෂන් මහත්තයා. මම ඒක එහෙමයි කියන්න ඔලුව වනලා සද්ද නැතිව උන්නා.
“ ලස්සන නමක් නේ. කවුද සින්ඩිට නම දාලා තියෙන්නේ.. මමී ද “
මේ මහත්තයා ටියුෂන් දෙන්න ආව මහත්තයෙක් ද නැතිනම් පත්තරේ මහත්තයෙක් ද මන්දා.
“ සින්ඩිගේ වයස කිය ද ? “
හිතුවා හරි.. ටියුෂන් දෙන්න ආව මහත්තයාට ඕනි නැති දෙයක් නැහැ. මහා ඕපාදුප කරත්තයක්.. මාග්‍රට් නැන්දා හොදයි තව.
“ ඇයි අහන්නේ.. “
මමත් ඇහුවේ ඉදලා ඉදලා බැරිම තැන. ඇයි අෆ්ෆා උගන්නන්න ආවා නම් ඒක නොකර මොන එහෙකට ද ජාතකේ හොයන්නේ.
“  සින්ඩිට හරියට තරහා යනවා වගේ නේද..  “
යන්තමින් හිනාවක් මුණට ඇදලා ගන්න ගමන් ඒ මහත්තයා කිව්වා. තරහා යනවා නෙවෙයි ඇවිත් තියෙන්නේ කියලා කියන්න හිතුනත් මං ඔන්න ඔහේ සද්ද නැතිවම උන්නා. අදුරගත්ත පලවෙනි ම දාසේ කාට වුනත් පාර්ට් දාන එක හරි නැහැ නොවෑ. මහා ආඩම්බරකාර පෙනුමක් තිබ්බ හින්දා නම් මන් නන් හිතුවෙම මේ මහත්තයා වැදගත් විදියට ඕපාදුප හොයන්නේ නැතිව ඉදිවී කියලා. ඒත් ඉතින් මේ ගෙදරට එන මිනිස්සු ඔක්කොටම තියෙන පුරස්න ටික මේ මහත්තයාටත් තිබ්බ එකනේ වැඩේ. අර ශාස්ත්‍රී කිව්ව විදියට අපරාදේ කියන්න බැහැ ලස්සන නම් අඩුවක් නැතිව තියෙනවා.
දොරේ ඔලුව හැප්පෙන තරමට උස.. හීනි දිග ඇස්.. හිනා වෙද්දී වළ ගැහෙන කම්මුල්. කොට කොට රැවුල් කොට වැවිච්ච කම්මුල්.. කුරු කුරු කොන්ඩේ.. ආඅ ඒ විතරක් ද වංගු ගැහිච්ච උගුරයි ගාම්භීර කටහඩයි. අපරාදේ කියන්න බැහැ යශෝදරා නෝනා යි ශාස්ත්‍රීයි දොර රෙදි අස්සෙන් එබිලා බලන්න තරං ඒ මහත්තයගේ රූපෙන් නම් අඩුවක් තිබ්බේ නැහැ. ඒත් අෆ්ෆා රූපෙ කන්න යෑ චිත්ත අදින ගෑනු වගේ විස්තර හාර අවුස්සන ගත්තම.
“ සින්ඩි සින්ඩිගේ විස්තර කියන්න අකැමති නම් මන් කියන්නම්කෝ මම ගැන. මම අනුරාධ, අනුරාධ මිගස්තැන්න. අද ඉදන් සින්ඩිගේ සර් මම. මම ගැන විස්තර දැනටමත් සින්ඩි දන්නවා ඇති නේ.. “
අනුරාධ මහත්තයා එහෙම කියද්දී මම හිමිහිට දන්නවා කියන්ට ඔලුව වැනුවා. ශාස්ත්‍රී නම් අනුරාධ මහත්තයට සර් කියන්නේ නැහැ. එයා කියන්නේ “ අනුරාධයියා “ කියලා.  ඒකත් චුට්ටක් විතර අමුතුම ලතාවකට. එක අතකින් සර් කියන එක හොදයි. එතකොට උන්දාට උනත් පුළුවන් නේ මගේ ජාතකේ හොයන්නේ නැතිව ඈතින් ඉන්න.
“ මිස්ටර් මිගස්තැන්න.. “
“ මිසිස් සේනානායක.. “
එහෙම කියාගෙන අනුරාධ සර් පුටුවෙන් නැගිට්ටේ සුභද්‍රා නෝනා ආව හින්දයි. හැබැයි අනුරාධ සර් ඉස්සරදී නම් සුභද්‍රා නෝනාට නෝනා කියන්නේ නැතිව මමී කියන්න කියලයි මාග්‍රට් නැන්දා අද උදේම මගේ කිරි කොෆි කෝප්පේ හදලා අතට දෙද්දී මට කිවේ.
“ හා හා නැගිටින්න ඕනි නැහැ වාඩි වෙන්න.. “
අනුරාධ සර්ටත් ආපහු වාඩිවෙන්න කියලා අතිනුත් පෙන්නන ගමන් සුභද්‍රා නෝනාත් අපි හිටපු මේසේ ම පැත්තකින් වාඩි උනා. ඒක නම් ඒ වෙලේ හැටියට මගේ හිතට හරි හයියක්. නැතිනම් ඉතින් මේ හොතබු මහත්තයා එක්ක මන් තනියම නොවැ. අයි අයියෝ සින්ඩි.. මගේ සිත මටම කන්ට්‍රෝල් නැහැ.. අර දෙන්නා හිටියේ නැතිනම් මට මටම ටොක්කක් ඇන ගන්න තිබ්බා.
“ මිස්ටර් මිගස්තැන්න.. මිසිස් තේනුවර වැඩි විස්තර කියන්න ඇති නේද ? “
“ කරදරයක් නැති නම් මට අනුරාධ කියන්න මිසිස් සේනානායක..  එහෙම ලේසියි. ඔව් කිව්වා.. මිසිස් සේනානායකගේ කසින් ඩෝටර්ට තමයි මට ටීච් කරන්න වෙන්නේ කියල කිව්වා.. “ මිසිස් තේනුවර කියන්නේ නම් ශාස්ත්‍රීගේ අම්මා.. ඒත් මොකක් කිව්වා මම කොහොමද සුභද්‍රා නෝනාගේ ඥාති වෙන්නේ.. හෑ.
“ ඔව්. අනුරාධ.. සින්ඩරෙල්ලා මගේ කසින් ඩෝටර්.. පුංචි කාලේ ඉදන් මෙයා හැදුනේ අපේ වත්තේ බන්ග්ලෝ එකේ හුරතලේ ට. වත්තේ ළමයි එක්ක වැටි වැටි සෙල්ලම් කර කර උන්නා මිසක් එහෙම මෙයාගේ එඩියුකේෂන් සයීඩ් එක ගැන කවුරුත් මහා ලොකුවට හිතුවේ නැහැ. අනික ඉතින් ඒ පැතිවල ඉගෙන ගන්නය කියලා හොද කොන්වන්ට් එකක් එහෙම තිබුනෙත් නැහැ. හැබැයි දැන් දැන් පිළිවලකට හැමදේම ඉගෙන ගන්න ඕනි වයස හින්දා මම මෙයාව මෙහෙට ගෙන්න ගත්තා. අපේ සින්ඩි පොඩි කාලේ ඔය වතු වල ළමයි එක්ක හැදුනු හින්දා එයාගේ කතා කරන භාෂාව නම් ටිකක් අමුතුයි. පොඩි ළමයින්ගේ ඔලු වලට ඔය උස් පහත් කම් දාන්න ඕනි නැති හින්දා අපිත් මොකුත් කියන්න ගියේ නැහැ ඒ දවස් වල.. “

“ ඒක හරි මිසිස් සේනානායක.. පුංචි දරුවෝ ඕවා ගැන හිතන්නේ නැහැ නේ. “
“ හ්ම්ම්.. මට මෙයාට මුල ඉදන් හැමදේම උගන්නන ඕනි අනුරාධ. ඊට පස්සේ මම හිතං ඉන්නේ මෙයාව ඇක්වයිනාස් කොලේජ් එකට එහෙම යවලා තව උගන්වන්න.. “
“ මට පුළුවන් මිසිස් සේනානායක.. සින්ඩිට උගන්වන්න එක මට සතුටක්.. “
සුභද්‍රා නෝනා එනකොට ඔලුව බිමට නමාගෙන පොතේ කවරේ දිහාවේ බලාගෙන උන්නු මම ඒ වෙලාවේ නම් උන්නේ කටත් ඇරගෙන ඒ දෙන්නා දිහාවේ බලාගෙන. අපේ අෆ්ෆේ මොකක්ද ඒ අත හැරපු ගජ බින්න. සුභද්‍රා නෝනා හිතුවට වැඩිය දියුණුයි නොවෑ.. මිනිසුන්ට පුළුවන් ද ඔහොම දිවේ කටේ නොගෑවී බොරු කියන්න..  අඩේ මුර්ගා.. සුභද්‍රා නෝනේ ට තිබ්බේ සමාජේ සේවේ කරන්න නෙවෙයි නවකතාවක් ලියන්න. සුභද්‍රා නෝනාත් මේම නම් මාග්‍රට් නැන්දා ගැන කවර කතා ද අෆ්ෆා.. වෙලාවට තඩි පුසීට කතා කරන්න බැරි උනේ. නැති නම් වසලා හමාරයි. ඒ ඔක්කොමත් හරි ශාස්ත්‍රීගේ අම්මා.. තකට තක. දැන් ඉතින් මං එපැයි මෙයාලා කියන මේ ටොම් පච මේන්ටේන් කොරන්න..
 යේක හරියන වැඩක් නෙවෙයි මුරුගා.. මේකෙන් වෙන්නේ එක්කෝ මං ගස්, නැතිනම් සුභද්‍රා නෝනේ ගස්.. අනුරාධ මහත්තයට නම් අපේ මොකෝ.. උන්දා ඉදිවී ගහමුලට වෙලා තේක්ක ගහත් කොස් ගහක් කිව්වොත් එහෙයි කියාගෙන..  අෆ්ෆා මොන ජිවිත ද මෙව්වා..

- අරුණි කළුපහන -
 •  0 comments  •  flag
Share on Twitter
Published on February 22, 2017 10:54
No comments have been added yet.