Dilly266 reviews15 followersFollowFollowSeptember 1, 2020නවකතාවේ ආරම්භය හා ගලායාම සලකන විට සාම්ප්‍රදායික මුහුණුවරක් ගන්නා නවකතාවකි. උසස් පරපුරක නීතිඥවරයෙක්, නීරස විවාහ දිවියක් ගත කරන වැඩිමල් දියණිය, යොවුන් විප්ලවවාදියක් සමග ආදරයෙන් බැඳෙන බාල දියණිය යන මේ සියල්ලම සාම්ප්‍රදායික අච්චුවේ නවකතාවක පරිදි වේ. එහෙත් මෙම නවකතාවේ වැදගත්ම කොටස ලෙස මා දකින්නේ "ඉෂානි මොල්ලිගොඩ" ගේ චරිතයයි. ඉෂානි ගේ පෙම්වතා වන තිසර, ඇය මායිම් නොකරයි. කතාවේ ආරම්භයේ දී අපට සිතෙන්නේ ඔහු විප්ලවවාදී අදහස් දරන බැවින් එසේ ලෞකික දේවල් වලින් ඈත්ව හිඳින බවකි. එහෙත් කතාව අවසානයේදී තිසර ගේ අභිප්‍රාය පැහැදිලි වන විට අපට ඉෂානි කෙරෙහි අනුකම්පාවක් සිතට නැගීම නොවැළැක්විය හැකිය.යොවුන් ආදර කතාවක මා දුටු සමබරම චරිතය ඉෂානි යැයි කිව නොහැක. නිදසුනක් ලෙස ඉෂානි විසින් තමා පිළිබඳව කරන මේ හෙළිදරව්ව බලන්න."තිසා ගැන තද බැඳීමක් මගෙ හිතේ ඇති වුණේ එයා මට හුඟක්ම ආදරේ කරන්නෙ නැති විත්තිය දැනගත්තයිං පස්සෙ.' ඉෂානි කණගාටුවෙන් සිතුවාය."එහෙත් අවසානයේ කතුවරිය විසින් ඉෂානි ගේ චරිතය සුදු චරිතයක් බවට පත් කිරීමට ගොස් ඉෂානි කෙරෙහි පාඨකයා තුළ ඇති හැඟීම හුදු අනුකම්පාවක් පමණක් බවට පත් කරයි."අපට අප අන්‍යෝන්‍ය වශයෙන් හඳුනා ගන්නට අපහසු වීම නිසා වෙන්වන්නට සිදුවීම වෙනම දෙයක්. එහෙත් ඒ හේතුව මත ජන්මාන්තර වෛරක්කරයන් ලෙස ක්‍රියාකිරීමට අප යොමු විය යුතුයි කියා මට නම් සිතෙන්නෙ නැහැ." මේ සා විසල් විවෘතභාවයක් ඒ සා ඉරණමකට බඳුන් වූ ඉෂානි වැනි අයෙක්ගෙන් බලාපොරොත්තු වීම යුක්තිසහගත නොවේ යන්න මාගේ පෞද්ගලික හැඟීමයි. ඇය පෙළෙන මානසික පීඩනය විස්තර කිරීම යම් තරමක සාර්ථකභාවයක් ඉසිලුවද මා බලාපොරොත්තු වූ මට්ටමට එය නොතිබූ බව කිව යුතුය.