ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතනය කෙරුණු දවසට පසුදින එනම් 1989 නොවැම්බර් 14 දින හමුදා අත්අඩංගුවට පත්වුණු රෝහිත මුණසිංහ රැගෙන යනු ලැබුවේ එළියකන්ද වධ කඳවුරටය. ලංකාවේ එවකට පැවැති වධ කඳවුරු අතර ඉතා ම්ලේච්ඡ වධකාගාරයක් ලෙස ප්‍රකට මෙහි ගතකළ කාලය තුළ ලේඛකයා ලද බිහිසුණු අත්දැකීම් අළලා ලියැවුණු මේ කෘතිය දේශීය වධ බන්ධන පිළිබඳව මෙතෙක් පළ වී ඇති විස්තරාත්මක ග්‍රන්ථය ලෙස විචාරකයෝ හඳුන්වති.
වසරක පමණ කාලයක් සිරගතව සිට ජීවිතාරක්ෂාව පතා පසුව ප්‍රංශයට ගිය ලේඛකයා කාලයාගේ ඇවෑමෙන් ආවේගශීලිත්වයෙන් හා පක්ෂග්‍රාහීත්වයෙන් තොරව මේ කෘතිය රචනා කර තිබීම මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණයයි.